ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේ නැහැ – විභාග කොමසාරිස්

2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණයක් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කරයි

2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින් 35 දෙනෙකු විසින් සිය වියදම් වාර්තා භාරදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්‍රන් පාක්කිය සෙල්වම් විසින් නියමිත කාලය තුළ ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

VAT බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකු​ට මාස 6ක සිර ද‍ඬුවම් නියම කෙරේ

VAT බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබූ බවයි සඳහන් වෙන්නේ.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක VAT බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

මූල්‍ය වංචාවලට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 15 ක් අත්අඩංගුවට

මූල්‍ය වංචා සිදුවීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපින් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස සමග සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අයහපත් කාලගුණයත් සමඟ හෙට බස්නාහිර ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හෙට බස්නාහිර පාසල් විවෘත කිරීමේ බලය අධ්‍යාපන බලධාරීන්ට පැවරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (14) පාසල් විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට බල පවරා තිබෙනවා.

ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරුන්ට එම තීරණය ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන් වෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අද (13) අවසන්වී නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (13) පස්වරු 3.00 න් එම කාලය අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වනවා.

පසුගිය දා අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැකියි.

එසේම මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකි අතර වයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වනවා.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා පැවතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති P. අම්පාවිල පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

එම තනතුරේ මේ දක්වා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති M.A.R ප්‍රේමරත්න බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම පොලිස් මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව සදහා පත්කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්‍රාමිකයන් සඳහා ලබන සතියේ සිට රුපියල් 3000 ක මාසික දීමනාවක්

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

6708f4f72ef8dpdf_page_0