One Direction තරුවක් වන Liam Payne මියයයි

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තෙවැනි තට්ටුවෙන් ඇද වැටී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට 31 වන වියේ පසු වූ Payne වඩාත් ප්‍රසිද්ධ වූයේ One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසයි.

Payne සමඟ Horan, Harry, Louis සහ Zayn ගෙන් සමන්විත වූ One Direction සංගීත කණ්ඩායම ලොව වඩාත් සාර්ථකම Boy Band එක ලෙස හැඳින්වෙන අතර What makes you beautiful, Night Changes සහ Steal My Girl වැනි ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70 කට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු 35ක පුද්ගලයෙක් වන අතර සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 ක් මරුට

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී ඇති අතර එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාස්කු වාර්තා ජනාධිපතිවරයා ප්‍රසිද්ධ නොකළොත් මම සඳුදා ප්‍රසිද්ධියට පත් කරනවා – ගම්මන්පිල

දින තුනක් තුළ පාස්කු වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දිනයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිඳු අඩුවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙසින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බවද ඔහු සඳහන් කළා.

තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත් සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අබේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සෙවණගලදී ආයුර්වේද ඖෂධාලයක් වැටලූ සුරාබදු නිලධාරීන් තිදෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2016 වසරේ සෙවණගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ ගොනු කර තිබූ පෙත්සමක අවසන් තීන්දුව ප්‍රකාශට පත් කරමින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර ඇතැයි තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ල අවධාරණය කළ අතර එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරුට ලබා දිය යුතු බවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වූ වන්දි ගෙවිය යුතු බවටත් විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දෙමින් නියෝග කර තිබෙනවා.

රනිල්ගෙන් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

ධීවරයන්ට ලීටරයකට රු. 25 ක ඩීසල් සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

මාස 6 ක් සඳහා රු. 300,000 ක උපරිමයකට යටත්ව ධීවරයන්ට ලීටරයකට රු. 25 ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25 ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු. 25 ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම් කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ධීවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලයක් සඳහා සහනයන් ලබාදීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

670e0f0458302 670e0f0412d0f

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 159,511 ක් පීඩාවට පත්වෙයි

අධික වැසි සමග ඇති වූ ආපදා වලින් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පවුල් 40,758 කට අයත් පුද්ගලයින් 159,511ක් අවතැන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

සුරක්ෂිතතා මධ්‍යස්ථාන 80 ක් මේ වනවිට ක්‍රියාත්මක අතර ඒවායේ පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රඳවා සිටින බවයි සඳහන් වෙන්නේ.

ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ, මේ වනවිට පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

කළුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය එන්ජි​මේ ගින්නක්

කළුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය එන්ජිමේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.