ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්නවලට ලකුණු ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පොහොර සහනාධාරය ගොවීන්ගේ ගිණුම් වෙත බැර කෙරේ

දිස්ත්‍රික්ක 11 ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක මුදලක් බැර කර ඇති බවයි එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ.

ඒ අනුව මිලියන 60 ක මුදලක් මේ වන විට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන්පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිවිල් පුද්ගලයින්ට දුන් ගිනි අවි 50 ක් යළි ආරක්ෂක අමාත්‍යංශයට භාරදෙයි

සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනි අවි 50 කට අධික සංඛ්‍යාවක් යළි ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබාදී ඇති සියලුම ගිනි අවි පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමෙන් පසු නැවත ලබාදීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගෙන තිබුණා.

ඒ අනුව අදාළ ගිනි අවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07 වන දිනට පෙර භාරදෙන ලෙසයි සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණේ.

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කෙරේ

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගංවතුර බැසයෑම සමග මීඋණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින්, ශරීරයේ තුවාල හෝ සීරීම් පවතී නම් වතුරට නොබසින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පවසනවා.

මීයන්ගේ මුත්‍රා වතුරට එක්වී තිබීමෙන්, ශරීරයේ ඇති තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගතවිය හැකි බවත්, මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරිය අවධාරණය කර සිටින්නේ.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය ඇති වන බව පෙන්වාදුන් වෛද්‍යවරිය මෙම රෝග ලක්ෂණ පැවතියහොත් ඉතාම ඉක්මණින් රෝහල්ගත වීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නා.

මහාචාර්ය කපිල සෙනෙවිරත්න විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධූරයට

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද, 1997 දී අමෙරිකා එක්සත් ජනපදයේ Wayne සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මහාචාර්ය සෙනෙවිරත්න, ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ ඉහළ නමක් දිනා සිටින පර්යේෂකයෙකු ද වෙනවා.

ඔහු 2014- 2017 දක්වා කැලණිය විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ අද දිනයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයට දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කෙරේ

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාව ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසු­ගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව රැසක් යෝජනා කර තිබුණා.