Category: news_sub
ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශු වෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර, මේ වනවිට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් සඳහන් කළා.
ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කරයි
අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත ජෝන්ස්ටන් ප්‍රනාන්දු මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා, ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කර ඇති අතර, ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වනදා දක්වා කල් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
බදුල්ලේදී සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළී සිසුවියන් දෙදෙනෙක් මරුට
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා.
බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර පිහිටි වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් සිසුවියන් 02 ක් මියගොස් ඇති අතර, තවත් සිසුන් 35 ක පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිදුවීමට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් චීනයෙන් රුපියල් මිලියන 400 ක හදිසි මානුෂීය ආධාර තොගයක්
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් හදිසි මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් මිලියන 30 ක හදිසි ආධාරයට අමතරව මෙය ලබාදී ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.

ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන තිබෙනවා – ජනපති
ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකා මෙන්ම දේශපාලනයද කටයුතු කරමින් සිටින බවයි මාතර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඇතැම් මාධ්‍ය නාලිකා ආණ්ඩුව මුදල් අච්චු ගැසූ බවට මුලින් සඳහන් කර පසුව එය වෙනස් කළ බවත්, තවත් සමහර මාධ්‍ය නාලිකා ආරුගම්බේ සිද්ධියේ බුද්ධි තොරතුරු ලැබුණේ ඉන්දියාවෙන් බවත්, තොරතුරු ලබාදෙන අයට ලක්ෂ 50 බැගින් මුදල් ද ලබාදුන් බවට සඳහන් කළ බවත්, ඒවා සම්පූර්ණ අසත්‍ය බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුව මාස 03 ක් නොවන බවත්, රට ගොඩ නගා මිස ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නතර කළ නොහැකි බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පොදු ස්ථානයක පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමක් සිදු කළොත්, එය නවත්වන්න පොලිස් නිලධාරීන්ට බැහැ – වැඩබලන පොලිස්පති
පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එවැනි වීඩියෝගත කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවයි අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ.
දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති මෙහි සඳහන් වෙන්නේ, සංස්කරණය නොකළ වීඩියෝ හඬපට අධිකරණයකදී සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින්, පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවයි.
එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සංස්කරණය කළ වීඩියෝ පට සමාජගත කළහොත්, ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 ආරම්භ වෙයි
2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
