ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ධූරය සුමති ධර්මවර්ධනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන පත්කර තිබෙනවා.

නොවැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති නීතිඥයෙක් වන සුමති ධර්මවර්ධන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

රජය මුදල් මුද්‍රණය කළ පුවත ව්‍යාජ පුවතක් – කැබිනට් ප්‍රකාශක

රජය මෙතෙක් කිසිදු මුදල් මුද්‍රණයක් සිදුකර නොමැති බව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එසේ අලුතින් මුදලක් මුද්‍රණයක් සිදුකරනවා නම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් විය යුතු බවත් එවැනි කිසිවක් සිදුව නොමැති බවයි අද (29) පැවති කැබිනට් මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රජය විසින් මුදල් මුද්‍රණය කර ඇති බවට සඳහන් පුවත ව්‍යාජ පුවතක් බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කිසිදු රටකින් හෝ ආයතනයකින් රජය ණය ලබා ගැනීමක් සිදුකර නොමැති බවත් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර කල් පිරෙන විට ඊට සමගාමීව නව ඒවා නිකුත් කරන බවත් එය සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යාවි – ලාෆ්ස් ගෑස් සමාගම

වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසනවා.

බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ඒවා වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා.

ඒ අනුව පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

බේකරි ජානා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘මර්වින් ජානා’ හෙවත් ‘බේකරි ජානා’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුමක් අතරතුර අයිස් මත්ද්‍රව්‍ය සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

යිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන ජාවාරම් සිදුකිරීම සඳහා මෝටර් රථයකින් යමින් සිටිය දී 45 හැවිරිදි අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අනුරාධපුර – මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මෙලෙස යළි ගමනාගමනය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමද, මේ වන විට ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොලගේ සඳහන් කළේ.

දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමත් සමග හරස් මාර්ග භාවිත කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

සහල් තොග පිළිබඳ වාර්තාව අද ජනපතිට

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ සඳහන් කළේ.

සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව පසුගියදා ආරම්භ කර තිබුණා.

ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී අසරණ වූ ජනතාවට සජබ සමග අත්වැල් බැඳ ගැනීමට ආරාධනා – සජිත්

පසුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී අසරණ වූ ජනතාවට සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මැද කොළඹ ආසනයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ජනතා අපේක්ෂා මල්ඵල ගැන්විය හැක්කේ සමග ජන බලවේගයට බවයි මෙහිදී  හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඡන්ද මධ්‍යස්ථාන 48කදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණු අතර, ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම නිසා මෙම ඡන්ද විමසීමේදී ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්න‍ේ.