මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ සහ ඉඳුරුව අතරදී මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු වේලාවක් ප්‍රමාදවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රධාන නල මාර්ගයේ සිදුවූ බිඳ වැටීමක් නිසා කෑගල්ල නගරයට ජල සැපයුම අත්හිටුවයි

ප්‍රධාන නල මාර්ගයේ සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කෑගල්ල නගරයට ජලය ගෙනයන ප්‍රධාන නලයකට ගලක් පෙරලී යාමෙන් සිදුවූ හානිය හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, කඩිනමින් ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාස්කු නඩුව සම්බන්ධයෙන් හේමසිරි ස​හ පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යළි කැඳවීමට නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා එල්ලවී තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව, ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබුණා.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබූ අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත්, එය බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අදාල නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්ති වාචකය කැඳවිය යුතුව තිබූ බවයි.

ජනපතිගේ රුව ඇතුළත් ව්‍යාජ රු. 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) පස්වරුවේ පිළියන්දල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ.

ඒ අනුව එම යෝජනාවලිය ලබන 08 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා පත්කර තිබෙනවා.

ඒ අනුව එම පත් කිරීම අද (04) සිට ක්‍රියාත්මක බවයි සඳහන් වෙන්නේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් ද සිල්වා, විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක් බව සඳහන්.

ඔහු ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද කටයුතු කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න පත්කර තිබෙනවා.

අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී ඔහු වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සුනිල් ජයරත්න වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක් වනවා.

ලොහාන්ගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියෝග කර තිබෙනවා.

මිරිහාන පිහිටි ඇයගේ මවගේ නිවසේ නවතා තිබූ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මෙලෙස නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ගත කර ඇති අතර අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1986 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමිවන බවත් කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි වන බවයි සඳහන් වෙන්නේ.

එසේම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති අතර ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1,950 ක් සහ එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වනවා.

ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබන අතර ඒ සඳහා දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටින බවද එහි සඳහන්.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත්කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6724e44f074d9pdf_page_0

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය හාන්ස් විජයසූරි​ය පත් කෙරේ

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඔහු Dialog Axiata හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Asia Mobile Awards හි ඉහළම ගෞරවය වන ‘Asian Mobile Industry සඳහා විශිෂ්ට දායකත්වය’ සම්මානයෙන් ආචාර්ය විජයසූරියට ගෞරව කර ඇති අතර 2008 දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කර තිබුණා.

ආචාර්ය විජයසූරිය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද, එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා තිබෙනවා.