සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී ජීප් රථය CID භාරයට ගන්නැයි අධීකරණයෙන් නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කළු පැහැති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෝසමක් අද (11) සලකා බැලූ අවස්ථාවේදී එම නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර අවසර දී තිබුණු අතර, එය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැගෙන යාමට කටයුතු කර තිබුණා.

14 සහ 15 දෙදි​න සුරාසැල් වැසෙයි

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍ය විජිත හේරත් ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් කටුනායක ගුවන් තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී ඔහු ගුවන් තොටුපොළේ සියලුම අංශයන් වෙත ගොස්, ඒ ඒ අංශවල සේවකයින් සමග සුහද කතාබහක ද නිරත වී ඇති බව සඳහන් වෙන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නියෝජනය වන පරිදි විශේෂ ඒකකයක් ගුවන් තොටුපොළේ පරිශ්‍රයේ පිහිටුවා, ගුවන් මගීන්ට ගුවන්යානා ප්‍රමාදය ගැන පැය 24 පුරාම ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමටත්, ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් ලබා දීමටත් අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ඊශ්‍රායලයේ ප්‍රසාදය

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සැලවීමත් සමග, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අගය කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසා පළකර ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියා පැසිෆික් අංශයේ ප්‍රධානී අවිව් එස්ට්‍රා සහ ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජයට එසේ ප්‍රශංසාව පළකර ඇති බවයි වාර්තා වෙන්නේ.

සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී රථයක් වැඩිදුර පරික්ෂාව සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථයක්, එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂාව සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (08) අවසර ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම අවසරය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අල්ලස් ගත් විදුහල්පතිනිය 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද (08) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

රනිල් අටවලා තියෙන උගුල්, බොරු වලවල් සහ කාල බෝම්බ නිෂ්ක්‍රිය නොකරොත් අනුරට නරක ඉරණමකට මුහුණ දෙන්න වේවි – පුබුදු ජාගොඩ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අටවන ලද උගුල්වල වත්මන් ආණ්ඩුව නොවැටී සිටිනවා නම් වඩා හොඳ යැයි ජන අරගල සන්ධානයේ පුබුදු ජාගොඩ පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විටත් උගුල් අටවා, බොරු වලවල් කපා, කාල බෝම්බ සකස් කර ඇති බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ විසින් අටවා ඇති උගුල්, බොරු වලවල් සහ කාල බෝම්බ ඉක්මනින් ඉවත් නොකළහොත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට නරක ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

අල්ලස් ලබාගත් විදුහල්පතිනියක් අත්අඩංගුවට

රුපියල් 150,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ විදුහල්පතිනිය විසින් පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කළොත් මන්ත්‍රී ධූරය පවා අහිමි විය හැකියි – සමන් ශ්‍රී රත්නායක

එළැඹෙන 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව එම කාලය තුළ කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එලෙස සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අපේක්ෂකයින් සහ අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 පාසල්වලට නිවාඩු ලබාදෙයි

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.