සවස දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට මහ වැසි ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද (14) දිනයේ දහවල් 2.00 පමණ පසු සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල 100mm ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් අනෙකුත් පළාත්වලත් 75mm ක පමණ වර්ෂාපනයක් ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට බස් හා දුම්රිය අද සාමාන්‍ය පරිදි ධාවනය වෙයි

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ජනතාව වෙනුවෙන් අදත් සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ.

පෞද්ගලික බස් රථ ධාවනය තරමක් සීමා වන බවත් බස් රථ 3000 ක් පමණ අද පෙරවරුවේ ධාවනය වන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

මේ අතර, සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලා.

ඡන්දය නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන දැනුම්දීමක්

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (14) උදෑසන 7.00 ට ආරම්භවීමට නියමිතයි.

ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත මේ සඳහා භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ඡන්ද පොළට ගිය පසු ඔබට ලැබෙන ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාවේ ඇති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් කතිරය (X) සලකුණු කිරීම හරහා එම පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඔබගේ ඡන්දය සලකුණු කළ හැකි වනවා.

ඉන් අනතුරුව ඔබ ඉහත සලකුණු කළ පක්ෂයේ අපේක්ෂකයින්ට මනාප පළ කරන්නේ නම් එම අපේක්ෂකයාගේ අංකය මත කතිරය සලකුණු කිරීමෙන් ඔබගේ ඡන්දය ලබාදිය හැකි අතර උපරිම වශයෙන් තිදෙනෙකුට මනාප සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

වංචා දූෂණ සිද්ධීන් 15ක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කරයි

පසුගිය කාල සීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව මීට අදාළ පැමිණිළි 3,040 ක් ලැබී ඇති බවත්, එයින් විසඳුම් ලබාදීමට හැකි 1,124 ක් තිබෙන බවයි එහි සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කළේ.

ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවූයේද යන්න සැක සහිත විශේෂ පරීක්ෂණ 15ක් තෝරාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

එයින් 3 ක අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදු කෙරෙමින් පවතින බවත්, තවත් කිහිපයක් සඳහා තොරතුරු ලබාගනිමින් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හෙට සහ අනිද්දා සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය හා පොහොය දිනය යෙදීම නිමිත්තෙන් මෙම තිරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි

රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ලවීමත් සමඟ පසුගිය දිනෙක අමාත්‍ය විජිත හේරත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණා.

එහිදී ඇතැම් පිරිස් මෙලෙස බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය වැඩි බවට අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර, අමාත්‍යවරයා එහිදී බලධාරීන්ට මෙම කටයුතු විසඳීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දීමට කටයුතු කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් නිරත වීමට වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

14 වනදා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා ක්‍රියාත්මක නොවන බවට දැනුම්දීමක්

අනිද්දා (14) එක්දින සේවා ඇතුළු සියලු මහජන සේවා සිදුනොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව එදින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන බැවින් මෙලෙස එහි සේවා ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අදාළ නිවේදනය පහතින්.

673346e13c538pdf_page_1

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක නිලධාරි චරුක දමුණුපොළ සඳහන් කළේ.

නොවැම්බර් පළමුවෙනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සීසර්වරුන්ට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මූල්‍ය ආයතනවල සීසර්වරුන් පොලිසීය සමඟ එක්ව තවමත් වාහන පැහැරගෙන යාමේ කාර්යයේ නිරත වන බව පවසමින් ලීසීං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය අද (12) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ අනුව පසුගිය රජයෙන් වාහන පැහැරගැනීම නතර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම ගැසට් නිවේදනය යළි ක්‍රියාත්මක කරන ලෙස බවයි ලීසිං හා ණය වාරික සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකළ ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරක් ලබාදී නොමැති බවත්, ජනාධිපතිවරයා ද ලීසිං ආයතනවල මාෆියාවට යට වී ඇද්දැයි සැක සහිත බවයි අසංක රුවන් පොතුපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හපුතලේදී දුම්රියෙන් ඇද වැටී තරුණියක් තුවාල ලබයි

දුම්රියේ ගමන්ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන්ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරට ලක්වූ තරුණියව කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් තිබෙනවා.

හපුතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.