ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයට සජිත්ගෙන් සුබපැතුම්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

එමගින් රටක් ලෙස මේ මොහොතේ මුහුණදී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදා වී තිබෙන බවත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තම ධූර කාලය තුළ සාර්ථකව ඉටුකිරීම තමන් සතු අභියෝග ලෙස ඔවුන් වටහාගෙන ඇති බවට විශ්වාස කරන බවද එහි සඳහන් කර තිබෙනවා.

මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු‍ පුරවැසි අයිතීන් සුරැකෙන සමාජ සාධාරණත්වය සුරක්ෂිතවන යහපත් ආණ්ඩුවක් වෙනුවෙන් උපරිම සහය ලබාදීමට සූදානම් බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

67396fb67c313

67396fb687b8f

සිංහල, මුස්ලිම්, දෙමළ සියල්ලගේ​ම ආදරය දිනාගත්ත කෙනෙක් කියලා සතුටුයි ස​හ ආඩම්බරයි – අම්බිකා සැමුවෙල්

සිංහල, මුස්ලිම්, දෙමළ සියලු දෙනාගේ ආදරය දිනාගැනීම සම්බන්ධයෙන් තමන්ට සතුටක් සහ ආඩම්බරයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රී අම්බිකා සැමුවෙල් පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ විශ්වාසය දූවිල්ලක් තරමට හෝ කැඩීමට බලාපොරොත්තු නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

ජාතිය, ආගම වශයෙන් බෙදීම් ඇති කළ පාලකයින්ට හොඳ පාඩමක් උගන්වා මෙවර මහ මැතිවරණයෙන් සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් බවට පෙන්නුම් කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රී අම්බිකා සැමුවෙල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උසස් පෙළ උපකාරක පන්ති අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මැතිවරණ ජයග්‍රහණයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ජනපතිට සුබපැතුම්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවයි X සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ‍.

X සටහන පහතින්.

6737f86101418

පශ්චාත් මැතිවරණ සමයේත් සාමකාමීව කටයුතු කරන්න – පොලීසි‍ය

පශ්චාත්  මැතිවරණ සමයේ ද සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව වන බවත්, මෙම කාලය තුළ, කිසිදු ආකාරයකින් පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකළ නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි ඔහු පවසන්නේ.

මේ අතර, මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත, ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 සඳහා ‘අවදානයෙන් සිටින්න (ඇම්බර්)’ තත්ත්වය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ⁠රුවන්වැල්ල යන ප්‍රදේශවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම 1 සඳහා ‘විමසිලිමත් වන්න (කහ)’ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ⁠අත්තනගල්ලටත්,  මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, ⁠දෙල්තොට යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, ⁠බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලටත් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඉහත මට්ටම යටතේම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ⁠මාවතගම යන ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ ⁠අඹන්ගග කෝරළයටත්, මාතර දිස්ත්‍රික්කයේ  ⁠වැලිපිටිය, ⁠කොටපල හා ⁠පස්ගොඩ යන ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද ප.ව. 7.30 දක්වා වලංගු වන ලෙසට නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මාතලේදී බස් රථයක් සහ වෑන් රථ​යක් ගැටී තිදෙනෙක් මියගොස් 39 ක් තුවාල ලබයි

දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ, එලවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 39 ක් තුවාල ලබා ඇති අතර එම පිරිස මේ වන විට රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල සාමාන්‍ය ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තේරිම් භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර මාධ්‍යයට නිකුත් කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක සඳහන් කළේ.

විශේෂයෙන් මෙම ප්‍රතිඵල අවස්ථා තුනකදී ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇති බවත් පළමුව ප්‍රදේශ ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන අතර, ඒ සමග එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු සඳහන් කළා.

ආසන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීමත් සමගම සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන් කිරීම ආරම්භ කරන අතර මනාප ගණන් කරනු ලබන්නේ ආසන ලබාගත් නැතහොත් මත්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුකම් ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

හිතුණොත් ඊළඟ සැරේ තරග කරනවා – මෛත්‍රී

සර්ව ජන බලවේගයට නව දේශපාලන පක්ෂයක් ලෙස රට තුළ විශාල බලයක් ලැබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අලුත් ආණ්ඩුව ගෙන එන හොඳ දේවල් සඳහා විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවයි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමන් දේශපාලනය තවමත් සිදුකරන බවත් තමන්ට සිතුනහොත් ඊළඟවර ජනාධිපතිවරණයට තරග කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන මහ මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කරන්න – පැෆරල්

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන මහ මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිතා කරන ලෙස සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඉතිහාසය සමඟ සැසඳීමේදී මෙවර මහ මැතිවරණය ඉතාමත් සාමකාමී මැතිවරණයක් බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.