රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් කිරීමට නියෝග

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණා.

පාළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ගැන තීරණයක් ගැනීමට ලබන සතියේ විශේෂ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිත බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.

එහිදී ගනු ලබන තීරණය මත පදනම්ව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.

සහල් ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස ආයතනය පවසනවා.

ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවයි එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කළේ.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබෙන අතර එම සහල් උත්සව සමයට පෙර වෙළෙඳ පොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

අම්පාර ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමන්තුරෙයි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති හෙයින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට අනාවරණයවී තිබෙනවා.

එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීගොස් තිබූ අතර ඉන් ඒ මොහොතේ සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණා.

මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

කොළඹ කොටුව – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අ​ද බණ්ඩාරවෙලට සීමා කෙරේ

අයහපත් කාලගුණය හේතුවෙන් අද (28) කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට පමණක් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනෙකුත් රාත්‍රී දුර ගමන් සේවා දුම්රිය නියමිත පරිදි ධාවනයට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉරාන ජාතිකයින් 07 කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ

2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2019 වසරේ ජූලි මස 12 වනදා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ වැටලීමකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර, අදාළ නඩුව අද (28) විභාගයට ගත් අවස්ථාවේ දී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලෝක බැංකු සභාපති Ajay Banga අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වා තිබෙනවා.

නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව මෙහිදී Ajay Banga අදහස් දැක්වූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහි ද සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිඳුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වන විට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන අතර ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහාය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

674817a367a9bpdf_page_0

674817a376803pdf_page_1

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල් දැමීමට තීරණය කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළැඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද (2016/24) එලෙස අදාළ දිනවලදී නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතව තිබුණා.

කොළඹ කුලපති ඉවත් කරන්නැයි ඉල්ලා මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කර සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඉවත් කරන ලෙස කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව විශ්ව විද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු පත් කරන ලෙසයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6746f9484abed 6746f94835bc6

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ නිරීක්ෂණයට ගුවන් හමුදාව එක්වෙයි

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව කටයුතු කරමින් තිබෙනවා.

ඒ අනුව අද (27) අංක 07 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අම්පාර ප්‍රදේශය නිරීක්ෂණ කටයුතු සදහා පිටත් කර යැවූ බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

මෙම මෙහෙයුම් අතරතුර එරාවූර්, මයිලවට්ටවන් ප්‍රදේශයේ විපතට පත් සිවිල් වැසියෙකු ගුවනින් බේරා ගැනීමට සමත්වූ අතර, පසුව ඔහු ගුවන් මගින් මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන ගිය බවයි ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.