ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර 02 වැනි උප වැඩසටහන සඳහා ප්‍රතිපත්ති පාදක ණය ලබාදීමේ ණය ගිවිසුම අත්සන් කිරීම අද (27) සිදුකර තිබෙනවා.

ඒ අනුව මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන මිලියන 200 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ශ්‍රී ලංකාවට අනුමත වී තිබුණා.

පළමු උප වැඩසටහන සඳහා වන ඩොලර් මිලියන 200 ක ණය මුදල 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ලබාදී තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් 29 වනදායින් පසු තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා – ආරක්ෂක ලේකම්

තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29 වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසනවා.

ඒ අනුව 29 වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වන නිවේදනය ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොළඹ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, අම්පාර, ගාල්ල, මාතර, කොළඹ, කළුතර, මීගමුව, පුත්තලම සහ මන්නාරම යන දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සිටින ධීවර ප්‍රජාවට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ප්‍රදේශවල ඇති ධීවර වරයාවල් සහ අනෙකුත් ස්ථානවලින් බහුදින ධීවර යාත්‍රා සහ කුඩා යාත්‍රා ඇතුළු ධීවර නා නාවික කටයුතු සඳහා යන යාත්‍රා අද (26) සිට නැවත දැනුම්දෙනතුරු රැකියා සඳහා පිටත්වීම අත්හිටුවන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

නොගැඹුරු මුහුදේ රැකියා කරන සියලුම ධීවර යාත්‍රා ආරක්ෂිත ස්ථානයකට යොමු වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඉදිරි දින තු​න තුළ උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3 කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ් අනුව හෙට (27) සහ 28, 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි  විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර ප්‍රකාශ සඳහන් කළේ.

අදාළ දින තුන වෙනුවට දෙසැම්බර් 21, 22, 23 දිනවල විභාගය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා අංශවලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6745b29e4aa0epdf_page_0

සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය බැඳුම්කරයක් මත මුදාහරින ලෙස නියෝග

දැනට අධිකරණය භාරයේ පවතින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 100 ක බැඳුම්කරයක් මත අදාළ වාහනය මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

නීති විරෝධීව එකලස් කළ V8 රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

විභාගය ලියන දරුවන්ට බාධා වන ආකාරයෙන් කටයුතු කරන්න එපා – විභාග කොමසාරිස්

උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත්, මෙය නියමයකට වඩා හැඟීමකින් යුතුව ජනතාව සිදුකළ යුතුව ඇති බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185 ක් පෙනී සිටින බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ නැහැ – මහජන උපයෝගීතා කොමිසම

මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම මෙම තත්ත්වයට හේතුව බවයි එම ආයතනික සන්නිවේදන අංශය සඳහන් කළේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා පසුගිය සැප්තැම්බර් අවසානයේදී මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබූ අතර පසුව එම කොමිසම දැනුම් දී තිබුණේ එම ගාස්තු අඩුවීම් ප්‍රමාණවත් නොවන හෙයින් යළි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසයි.

අදාළ යෝජනා නොවැම්බර් 08 වනදාට පෙර භාරදෙන ලෙස දැනුම්දී තිබුණද යළි නොවැම්බර් 22 දක්වා කල් ඉල්ලා සිටියත්, ඔවුන් තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

නව යෝජනාව ඉදිරිපත් කළ ද එය අධ්‍යනය කිරීම සඳහා සති 06 ත් 08 ත් අතර කාලයක් ගතවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලංකා විදුලි සේවක සංගමය බෝනස් ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය ඉල්ලා සිටිනවා.

ඒ අනුව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ලිපියක් යොමු කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවයි ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ.