ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුවේ සාක්ෂි විභාගය සිදුවෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ, පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (05) කොළඹ ප්‍රධාන මහාධිකරණයේදී සිදුවුණා.

සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි යන චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඒ අනුව, අද දිනයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළ අතර, නඩු විභාගය දෙසැම්බර් 13 යළි කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

09 වැනිදාට පසු නැවත වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

එළැඹෙන 09, 10, 11, 12 දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

නිරිතදිග බෙංගාල බොක්කේ, දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වී ඇති බවත්, දැනට එහි යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙහි වක්‍ර බලපෑමක් බොහෝවිට 9, 10, 11, 12 වැනි දිනයන් වලදී ඇතිවීමට හැකියාවක් ඇති බවත්, එම වක්‍ර බලපෑම හේතුකොට ගෙන උතුර, නැගෙනහිර, උතුරුමැද, සහ ඌව වැනි පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් 09 වනදා රාත්‍රී කාලයෙන් පසු ඇතිවීමේ ලකුණු දැනට පහළ වී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මෙය ඉදිරියේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙනවාදැයි තහවුරු කර, ඉදිරියේදී පැහැදිලිව ජනතාවට දැන ගැනීමට සලස්වන බවද, ඉදිරියේදී දැනුම්දෙන කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තේ වත්තක වලක් සාරා අනවසරයෙන් මැණීක් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් තේ වතු යායේ අනවසර ලෙස මැණික් ගැරීම කළ පුද්ගලයෙක් අද (05) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.

එම පුද්ගලයා බගවන්තලාව ටින්සින් වතුයායට පිවිසෙන අඩි පාරක් ආසන්නයේ රාත්‍රි කාලයේදී කාලයක් තිස්සේ අඩි 60 ක් පමණ ගැඹුරට වලක් සාරා, එහි තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් නිවසට රැගෙන ගොස් ඉල්ලම් පස් සෝදා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු කොරියානු ජනාධිපතිගේ යුධ නීතියට එරට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධය

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් ඊයේ (03) සිය රට තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කළා.

එයට විරෝධය දැක්වීම සඳහා අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව විසින් හමුදා නීතියට එරෙහිව ඒකමතිකව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළ අතර, ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර, අද දහවල් එරට විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, ඉදිරි පැය 72 තුළ අදාල යෝජනාව විවාදයට ගෙන, ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 188 ක් නාවික හමුදා භාරයට

අද (04) අළුයම යාපනය – ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 188.35 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වන බවයි පැවසෙන්නේ.

ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

අද සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා අලෙවි කරනවා – වෙළෙඳ අමාත්‍ය

පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

රජය විසින් මෝල් හිමියන් ගෙන්වා සිදුකළ සාකච්ඡාවේදී බැංකු ප්‍රශ්න නිසා මෝල්වල ඇති සහල් නිදහස් කිරීමට නොහැකි බව පැවසූ බවත්, එයට පිළිතුරක් ඊයේ සපයා දුන් බවත්, ඒ අනුව අද සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220 ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට මෝල් හිමියන් එකඟ වූ බවයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසා සිටියේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණීකා නිදහස් කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය, ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කරනු ලැබුවා.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම්දීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිද්ධියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අද (02) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුරදී සිදුවූ උණුසුම්කාරී සිදුවීම් නිසා   අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත්කළ බවයි වාර්තා වෙන්නේ.

පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකළ අතර, එහිදී කලහකාරී ලෙස හැසිරුනු විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පහේ ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩලයේ තීරණය නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කලින් පිට කළ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පැවැත්වීමෙන් සිසුන් පීඩාවට පත්විය හැකි බව අමාත්‍ය මණ්ඩලයේ අදහස වන බවත්, ඒ අනුව යළි විභාගය පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) කැඳවා තිබුණු අතර, පෙත්සම් විභාගය ලබන 11 වනදා පැවැත්වීමට එහිදී තීරණය කෙරුණා.

වායු තත්ත්ව දර්ශකය ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය අගයට

මෙරට වායු තත්ත්ව දර්ශක අගයන් ඉදිරි දින කිහිපය ඇතුළත සාමාන්‍ය අගයට හැරෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (පරිසර අධ්‍යාපන), මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.

වායු තත්ත්ව දර්ශකය ඉහළ යාම නිසා සෞඛ්‍යයට එල්ල වූ බලපෑම් ද ඉදිරි දින කිහිපය තුළ අඩු වී යනු ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් මෙම තත්ත්වයට සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයන් ඇති කළ හැකි බැවින්, එවැනි පුද්ගලයින් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද අධ්‍යක්ෂවරයා මහජනතාවට දැනුම් දෙනවා.

වායු තත්ත්ව දර්ශකය 100 ට වැඩි වීම තරමක් අහිතකර බව ද, එම අගය 50 ට අඩුවීම හිතකර සහ මෙරට නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් බව ද, 0-100 ත් අතර අගය මහජනතාවට ගැටලුකාරී නොවන තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.