උත්සව සමයේදී හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට පියවර ගන්නවා – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින් ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවත් ඒ අනුව රුපියල් 45කට අඩුවෙන් බිත්තරයක සිල්ලර මිල පවත්වාගෙන යාමට අපෙක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව ඉන්දීය ධීවරයින් වර්ජනයක

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය බදාදා දිනයේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම මෙම වර්ජනයට ආසන්නතම හේතුව වී ඇති බවයි සඳහන් වෙන්නේ.

දිගින් දිගටම සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර ප්‍රජාව තම ජීවිකාව සිදුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

නව රජයක් පත්ව ඇති බැවින් සිය ගැටලු සදහා විසදුම් ලබාදෙන ලෙස රාමේෂ්වරම් ධීවර සංගම් ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා.

විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යනයට

විදුලි ගාස්තුව සංශෝධනය ගැන විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අධ්‍යනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) පවසනවා.

එයින් පසුව එය මහජන අදහස් ලබා ගැනීම සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවත්, ඉන් අනතුරුව කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් සඳහන් කළේ.

ජනවාරි මාසයේදී පමණ මෙම කටයුතු  සිදු කිරීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ලබන වසරේ මුල් මාස 06දී පවතින විදුලිය ගාස්තු එලෙසම පවත්වා ගෙන යෑමට යෝජනා කරන බවට විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව ඉදිරිපත් කරමින් මහජන උපයෝගිතා කොමිසමට ඊයේ දැනුම් දී තිබුණා.

ලොහාන් රත්වත්තේ යළිත් අත්අඩංගුවට

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (06) පස්වරුවේ යළිත් අත්අඩංගුවට ගනු ලැබුවා.

බීමතින් රිය පැදවීම හේතුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු යළිත් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

ලොහාන් රත්වත්තේ ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැනි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

නීති විරෝධීව එකලස් කළ වාහන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලොහාන් රත්වත්තේ පසුගිය (05)  වැනි දින ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණා.

ව්‍යාජ තොරතුරු මත ජල බෝතල් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

තොරතුරු වෙනස් කර, ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

එහිදී එම පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වී තිබුණු අතර, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදා ගනිමින් අදාළ පානීය ජල බෝතල් නිෂ්පාදනය කර ඇති බවයි හෙළිවී තිබෙන්නේ.

මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිලිලීටර් 500 ජල බෝතල් 1,904 ක්, ලීටරයේ ජල බෝතල් 484 ක්, ලීටර් එකහමාර ජල බෝතල් 576 ක් හා ලීටර් 19 ජල බෝතල් 34 ක් නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙන බව සඳහන්.

පනතට අනුව, තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රාහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන බැවින්, අදාළ ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.

ගංවතුර නිසා මී උණ ඇතිවීමේ අවදාන​ම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

වර්ෂාව හේතුවෙන් ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒකකය අනතුරු අඟවනවා.

ඒ අනුව වැඩිම අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක හඳුනා ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව, මී උණ රෝගයේ ලක්ෂණ වන බවත්, එම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් රෝහල්ගත වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් ඉකුත් රජය නිකුත් කළ ගැසට් නිවේදනයකට අතුරු තහනම් නියෝගයක්

ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (06) දිනයේ සිය රාජකාරී ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ 22 වියැති සැකකරුවෙක් අත්අඩංගුවට

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර්ජාලය හරහා මුදල් උපයාගත හැකි බවට පවසා, සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

රුපියල් ලක්ෂ 05 කට අධික මුදලක් සැකකරු විසින් එලෙස ගිණුම්ගත කරවාගෙන වංචාව සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමට අසමත් වුනොත්, මැතිවරණ නීතිය ඉදිරියේ වරදකරුවෙක් වෙනවා – පැෆ්රල් සංවිධානය

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ සියලුම අපේක්ෂකයින් හට තමන්ගේ ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමට ලබා දී තිබුණු අවසාන දිනය හෙට (06) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

වාර්තා වී ඇති ආකාරයට දැනට 20% ආසන්න ප්‍රමාණයක් පමණක් මෙම ආදායම් සහ වියදම් දිස්ත්‍රික්ක මට්ටමෙන් භාර දී ඇති බවත්, මේ වාර්තා භාරදීමට අසමත් වුවොත් මැතිවරණ නීතිය ඉදිරියේ වරදකරුවෙක් වන බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටියා.

මෙම වාර්තා භාරදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ හා තරග කිරීමේ අයිතිය අහිමි වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත්, මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත්, ඒ අයගේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය සහ ලියාපදිංචි අයිතිය අනිවාර්යයෙන්ම වසර තුනකට අහිමි වීමට ද පුළුවන්කම ඇති බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.