උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ලොව පුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් සමරන, එමෙන්ම වසරේ අවසාන පොහොය වන උඳුවප් පොහොය අදට (14) යෙදී තිබෙනවා.

සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ දින 07 ක් මුහුද තරණය කිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොල පටුනෙන් මෙරටට වැඩම කළේ අද වැනි උඳුවප් පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් ද මෙරටට වැඩම කළ අතර, මෙරට කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙහෙණි සසුන පිහිටුවීම ද සිදුවූයේ අද වැනි උඳුවප් පොහොය දිනක බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.සිරිපා වන්දනා සමයද අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයේදී ආරම්භ වීමට නියමිතයි.

මිලියන 130 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

2025 අයවැය වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා අදත් පැවැත්වෙයි

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (11) දිනයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනාද මෙහිදී සාකච්ඡාවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ අවස්ථාව සඳහා විෂය භාර අමාත්‍යවරුන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නීති සංශෝධනයට උපදෙස් ලබාදී ඇති බව නීතිපති අධිකරණයට කියයි

නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, තරුණ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් මෙය මහජනතාවට ඉතා වැදගත් නඩුකරයක් බැවින් ඊට සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීමට හැකිවන ආකාරයේ මෙම නඩුකරය පිළිබඳව භාෂා තුනෙන්ම පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිට තිබෙනවා.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, ඉන් අනතුරුව පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමටත් නියෝග කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය 16 වනදා දක්වා කල් තබ

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම් අද (11) එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

අදාළ විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබුණා

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 08 ක් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 08 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

එහිදී සැකකරුවන් 08 දෙනාට, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරුවන් 08 දෙනාට විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටත්, සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි ද පනවා තිබෙනවා.

පසුගිය ජුලි මස 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වී සිටියදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කෙරුණා.

සහල් මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය නිලධාරීන් වැරදියට ගහලා – එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

සහල් මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය නිලධාරීන් විසින් වැරදි ලෙස නිකුත් කර ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තොග මිල, තොග වෙළෙන්දාට සහ සිල්ලර වෙළෙන්දාට සහ සහල් මෝල් හිමියන්ටද අයිති බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ.

නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සහල් මෝලෙන් ලැබෙන මිලටම තොග වෙළෙන්දන් විසින් විකිණීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

රජය අපහසුතාවට පත් කිරීමෙන් අරමුණින් හෝ නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදනය වැරදි ලෙස නිකුත් කර ඇති බවත්, එය නිවැරදි කරන ලෙස කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමා තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6757f3b237943pdf_page_0

ජවිපෙට ඡන්දෙ දුන්න අය දැන් සතොසට යන්නේ මාස්ක් දාලා – චන්දිම වීරක්කොඩි

ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් අයට සතොසට යාමට සිදුව ඇත්තේ මුව ආවරණ පැළඳ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බවට හඳුනා ගනීවි යැයි ලැජ්ජාවට එලෙස මුව ආවරණ පැළඳීමට සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එලෙස මුව ආවරණ පැළඳ ගොස්, පොල් ගෙඩි 03 ක් සහ සහල් කිලෝ 05 ක් ගෙන එන මට්ටමට පැමිණ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමස්ත පාසල් දරුවන්ට සහනයක් ලැබෙන පරිදි පාසල් උපකරණ සඳහා වන බද්ද අඩු කරන්න – ජෝසප් ස්ටාලින්

සමස්ත පාසල් දරුවන්ට සහනයක් ලැබෙන පරිදි පාසල් උපකරණ සඳහා වන බද්ද අඩු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ට රුපියල් 6500 ක දීමනාවක් ලබාදීමට රජය යෝජනා කර ඇති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් සිය යෝජනාව වන්නේ සියලුම පාසල් ළමුන්ට සහනයක් ලැබෙන පරිදි බදු අඩු කිරීමට කටයුතු කළ යුතු බව යැයිද ඔහු සඳහන් කළා.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පිරිසට පමණක් මෙම සහනය ලබාදීමට කටයුතු කළහොත්, සමස්ත පිරිසට එය නොලැබෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.