පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – සුනිල් වටගල

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.

ඒ අනුව රුවන්වැල්ලේ සම්පූර්ණ පොලීසියම සහ අවිස්සාවේල්ලේ ඇතැම් නිලධාරීන් බුද්ධි තොරතුරු මත මාරු කිරීම් සිදුකළ බවයි අද (26) පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට අපහසු බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර පත් කෙරේ

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර යළි පත්කර තිබෙනවා.

ධම්මික ජයසුන්දර මහතා 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුව උසස්වීමක් ලද ධම්මික ජයසුන්දර මේ දක්වා කටයුතු කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ආනයනික හාල් නිෂ්කාශන කටයුතු අද සිට යළි අරඹයි

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ සඳහන් කළේ.

රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට  20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණා.

වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

අසිරිමත් නත්තල අදයි

ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි.

බෙත්ලෙහෙමේදී උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වනවා.

නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජා ඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී පැවැත් වුණා.

පසුගිය රජය සමයේ වැඩතහනමට ලක් වූ ලංවිම සේවකයින් 62 ක් යළි සේවයේ පිහිටුවයි

 

ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගි වී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62 ක් වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ විශේෂ නියෝගයක් අනුව එය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට කටයුතු කර තිබුණා.

ජනාධිපති අරමුදලේ අවභාවිතාවක් සිදුවී ඇත්දැයි සෙවීමට CIDයෙන් විමර්ශනයක්

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ විමර්ශනය සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇති බවයි වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් ඊයේ (23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

බන්ධනාගාර රැඳවියන් 389කට සමාව හිමිවෙයි

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නත්තල වෙනුවෙන් මෙලෙස ඔවුන්ට නිදහස ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාන්තා රැඳවියන් 04 දෙනෙකුද නිදහස ලබන පිරිසට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්…

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්…

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි එම පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බවය.

එලෙස අයදුම්පත් කැඳවීම සඳහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය, සහ ආදර්ශ ඉල්ලුම්පත්‍ර පසුගිය 11 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එම වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ ය‍ටතේ එම අයදුම්පත බාගත කිරීමට කර ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

තවද එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මෙම මස 31 වන දින වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

ඇඟ නිල් වෙන රෝගයක්.. ලංකාවේ පළමුවරට ඇසුණු පුදුම හිතෙන රෝගී තත්වයක් ගැන විශේෂ අනාවරණයක්..

ඇඟ නිල් වෙන රෝගයක්.. ලංකාවේ පළමුවරට ඇසුණු පුදුම හිතෙන රෝගී තත්වයක් ගැන විශේෂ අනාවරණයක්..

සටහන මංගල කරුණාතිලක (අනුරාධපුර)

මොකද්ද මේ රෝගී තත්වය.. ඇත්තටම ඒ ගැන ඇසෙන විටත් ඇතිවන්නේ භීතියක්..
කොහොම වුණත් දැනට අනාවරණ වී ඇති කරුණුවලට අනුව මෙන්න මේ වගේ කතාවක් තමයි ඒ ගැන ඇසෙන්නේ..

Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා..

ඒ අනුව, අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්.යූ. සී. රණවක සඳහන් කළේ..

මෙම රෝගය වැළඳීමේදී රෝග ලක්ෂණ ලෙස ශරීරය දැඩිලෙස නිල්පාට වන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වන බවයි ඔහු පවසන්නේ..

මැදවච්චිය ප්‍රදේශයේ මෙම රෝගය වැළඳුනු දරුවා අනුරාධපුර ශික්ෂණ රොහලේ නොමේරු ළදරු ඒකකයේ සායනික පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙරට එකී පරීක්ෂාවන් සඳහා පහසුකම් නොමැති බැවින් දරුවාගේ රුධිර සාම්පල ජර්මනියට යැවීමෙන් අනතුරුව මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා..

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සඳහා වන ඖෂධ මෙරට පැවතීම හේතුවෙන් දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි ඔහු සඳහන් කළේ..

එමෙන්ම, මෙම රෝගය ඇතිවීම සඳහා බොහෝවිට ඥාති විවාහයන් හේතු වන නමුත් මෙම දරුවාගේ දෙමව්පියන් එසේ නොවීමද විශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ..

මෙම රෝගය මෙරටදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත්, ලෝකයේ සාමාන්‍යයෙන් ලක්ෂයකට එක් දරුවෙකුට මෙවැනි රෝගයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ..