ජිමී කාටර්ගේ අභාවය පිළිබඳ​ව ජනපති ශෝකය පළ කරයි

අමෙරිකානු හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.

67726d5c3004d

සහල් මෙට්‍රික්ටොන් 75,000 ක් ආනයනය කර නිෂ්කාශනය කර අවසන් – රේගුව

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බවයි සඳහන් වෙන්නේ.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගෙන තිබුණා.

ගුලි‍, ගංජා‍, අයිස් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 25 ක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.

සෝදිසි මෙහෙයුම්වලදි ගංජා, මදනමෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ වසර තුළ අලි මරණ 350 ක්

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින් වන අතර එම සංඛ්‍යාව, 70 කට ආසන්න බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් ඇති අතර හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 ක් සහ දුම්රියේ ගැටී අලි සංඛ්‍යාව, 10 ක් ලෙස වාර්තාවී තිබෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් ගැන විමර්ශන අවසන් කෙරේ

මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධ පොලිස් විමර්ශන අවසන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළා.

ඒ අනුව ඊට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරි නඩු වාරයේදී ඔවුන්ට අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙනු ඇති බවද ඔහු සඳහන් කළා.

මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කරනවා – නලින්ද ජයතිස්ස

සුදුසු සංවර්ධන සැළැස්මක් ක්‍රියාත්මක කරමින්, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, මෙය ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද වෙනවා.

අමාත්‍යවරයා මෙහිදී රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින්, අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක ද නිරත වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුවක් විසින් එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස් කරමින් සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

උත්සව සමය තුළ කොළඹ නගරයේ කැළිකසළ එකතුවීම ඉහළට

උත්සව සමයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.

දෛනිකව ටොන් 420ත් 450ත් අතර ප්‍රමාණයක කසළ ප්‍රමාණයක් එකතු වන බවත්, නමුත් මෙම මාසය අවසන් වනවිට එම ප්‍රමාණය වැඩිවිය හැකි බවයි කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ.

දෙසැම්බර් 31 වැනිදා වනවිට කොළඹ නගරයට පැමිණෙන අතිවිශාල ජන සංඛ්‍යාව නිසා ඉහත කසළ ප්‍රමාණය ටොන් 500ක් පමණ විය හැකි යැයි පුරෝකථනය කර ඇති බවයි කොමසාරිස්වරයා වැඩිදුර‍ටත් පවසා සිටින්නේ.

ගාලු කොටු පවුරේ පැරණි කොටු දොරකඩ දින හතරක් සඳහා තාවකාලිකව වසා තැබේ

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ දින හතරක් සඳහා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව, පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ රසායනික සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම පැරණි කොටු දොරකඩ අද (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

මෙම කාල සීමාව තුලදී ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගංවතුර නිසා ගොවිබිම් අක්කර 80,000 ක් හානිවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

2024/25 මහ කන්නයේ 2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා හානි සිදු වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වනවිටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්, ගොවි සංවිධානවල සහභාගිත්වයෙන් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

ඉන් පොලොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව මේ වනවිට අවසන් වී ඇති අතර එම දිස්ත්‍රික්කවලට අදාළ අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකවල වගා හානි පරීක්ෂාව එළැඹෙන 29 වනවිටත්, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වනවිටත් අවසන් කිරීමට නියමිතයි.

හැටන් බස්රථ අනතුරේ රියදුරු යළි රිමාන්ඩ්

හැටන් ප්‍රදේශයේදී අනතුරට ලක්වු පෞද්ගලික බස් රථ රියදුරා ලබන වසරේ ජනවාරි මස 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය 21 වනදා හැටන් සිට මහනුවර දක්වා ධාවනයවු පෞද්ගලික බස්රථය හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.