ගෝඨා​ගේ චිත්‍ර ඇඳිල්ලයි, අනුර කුමාරගේ දිසානායකගේ Clean Sri Lanka එකම ලයින් එකේ යන්නේ – අජිත් පී. පෙරේරා

වැඩබලන පොලිස්පතිවරයාට තනතුරත් අහිමිවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයාගේ සැලැස්ම සහ දින වකවානු මොනවාදැයි ඇසීමට ඔහුට නොහැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ චිත්‍ර ඇඳීම සහ අනුර කුමාර දිසානායකගේ Clean Sri Lanka ව්‍යාපෘතියයි එකම මට්ටමක පවතින බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට විභාග පැවැත්විය හැකි අතර, කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදුකිරීමට හැකි බවයි අගමැතිවරිය සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ පවසා තිබෙනවා.

එමෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා, ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

TRCSLහි ලියාපදිංචි නොකළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා.

සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බස් රථවලින් ඉවත් කරන්නේ මාර්ග අනතුරුවලට දායකවෙන අලංකරණ කොටස් පමණයි – මහජන ආරක්ෂක ඇමති

බස් රථවල ඇති සියලු අලංකරණ කොටස් ඉවත් කිරීමක් සිදු නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව මාර්ග අනතුරුවලට දායක වන කොටස් පමණක් ඉවත් කිරීම සඳහා උපදෙස් ලබාදෙන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සියලු පාර්ශව සඳහා මාස තුනක කාලයක් දැනුවත් කිරීම් කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අනතුරුදායක කොටස් ඉවත් කිරීම සඳහා බස් රථ හිමියන්ද එකඟතාව පළකර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මැතිවරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

2024 මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කරන  ෙලෙසවැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ආදායම් වියදම් වාර්තා මෙතෙක් භාර දීමට ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන් හි කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශ මගින්, නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බස් ඇතුළේ තරු පහේ හෝටල් වගේ හදන කල් බලන් හිටිය පොලීසිය තමයි දැන් බස් Clean කරන්නේ – දයාසිරි

බස් රථ අලංකරණය සම්බන්ධයෙන් මෙතෙක් කලක් නීති තිබිය දී, පොලීසිය ඒවා ක්‍රියාත්මක කිරීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

නීති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ යුතු නැති බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බස් ඇතුළත මල් මාලා එල්ලා, තරු පහේ හෝටල් මෙන් සාදන තුරු බලා සිටි පොලීසිය, දැන් ඒවා ඉවත් කිරීමට පටන්ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබෙනවා.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයට ද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින්, ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

677e2f91a4f4apdf_page_0

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති HARA Shohei පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, JICA ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

677cddabd0092pdf_page_0

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවක් අතර මොරටුව ප්‍රදේශයේදී බස් රථයක් මගීන් අතරමග බස්සවා ආපසු හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියා.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.