ජනපති සහ චීන ජනපති අතර නිල සාකච්ඡා ආරම්භ වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති Xi Jinping අතර නිල සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡා එරට වේලාවෙන් පස්වරු 5.00 ට පමණ චීන මහජන ශාලාවේදී ආරම්භ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නිල සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාල සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා මහජන අදහස් විමසීම ඉකුත් 10 වනදායින් අවසන් වු බවයි එම කොමිසම සඳහන් කළේ.

සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මහජන අදහස් ලබාගත් විමසීම සිදු කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 දක්වා වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක ආමාත්‍යාංශය

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසනවා.

මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

ඇතැම් පුද්ගලයින්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාස 03ක පමණ කාලයක් බලා සිටීමට සිදුව ඇති බවත් කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබාගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගොඩගැසී ඇති නඩු ගැන අධිකරණ ඇමති වාර්තාවක් කැඳවයි

අධිකරණවල ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසඳීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.

ගොඩගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා සඳහන් කළා.

රුපියල් ලක්ෂ 60කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ල කෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

නිවසක් බිඳ මුදල් හා රන් භාණඩ කොල්ල කෑ සැකකරුවන් සිව් දෙනෙකු කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් රාත්‍රී කාලයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 62කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් රුපියල් 267,000/-ක් කොල්ලකා පලාගොස් තිබු බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව පසුගිය 11 වැනි දින සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් කරුණු මත ගම්පොල හා සාම්පුර් ප්‍රදේශයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක් සහ අපරාධය සිදුකර පලායාමට උපයෝගී කරගන්නා ලද මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා එළැඹෙන 14 වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හිමිවන බවයි සඳහන් වෙන්නේ.

එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500 කට සෞදි අරාබියේ සත්කාරකත්වය ලබාදෙයි

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500කට සෞදි අරාබියේ සත්කාරකත්වය හිමිවන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට ඊට අදාළ ගිවිසුමකටද එළැඹ ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

සෞදි හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ප්‍රධාන ජලාශ 27 ක් පිටාර මට්ටමට පැමිණෙයි

ප්‍රධාන ජලාශ 73 න් 27 ක් මේ වනවිට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10 න් 07 ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් සඳහන් කළා.

අම්පාරේ ප්‍රධාන ජලාශවලින් තුනක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී ඇති අතර, හම්බන්තොට ප්‍රධාන ජලාශ 10 න් දෙකක් පිටාර මට්ටමට ළඟා වී ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකෙන් එකක් පිටාර මට්ටමේ ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3 න් 2 ක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10 න් එක් ජලාශයක් වාන් දමමින් පවතින බවත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3 න් දෙකක් වාන් දමමින් ඇති බවත්, පොළොන්නරුවේ ද ප්‍රධාන ජලාශ 4 න් එකක් වාන් දමමින් තිබෙන බවත් පී.එස්.ඩී හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර තිබෙනවා.

බිම්බිසාර රජු විසින් බුදුරජාණන් වහන්සේ ඇතුලු මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කර ඇත්තේ දුරුතු පොහොය දිනක බවද ශාසන ඉතිහාසයේ සඳහන්.

දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

නායයාම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවූ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයද යළි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

පවතින කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන  අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබුණා.