ගෝඨාභය CID යෙන් පිටව යයි

ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද කැඳවා තිබුණා.

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවට දැනුම්දීමක්

දුම්රිය රියැදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනුව කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80 ක් පමණ පෙනී සිටීමට නියමිත අතර අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභයට අද CID යෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇල්ල ඔඩිසි දුම්රිය ටිකට්පත් මාෆියාව ගැන CID යට පැමිණිල්ලක්

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය E ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 4‍2 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන්වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව මෙම ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16,000 ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බවද ඔහු සඳහන් කළා.

කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු E ටිකට්පත් මාසයකට ඉහත දී අන්තර්ජාලය වෙත මුදාහරින බවත් එසේ මුදාහැර බලාසිටිය දී තත්පර 42 ක් වැනි කෙටි කාලයක දී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර අවදානම් නිවේදනය දීර්ඝ කෙරේ

මත්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6788e85b3bf84

කොහුවලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවවි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පොඩි ලැසී මුම්බායි හිදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් තිබුණා.

මාසයක් වලංගු දුරකථ​න පැකේජ දවස් 20 න් ඉවරවෙනවා – කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය

දුරකථන පැකේජ සම්බන්ධයෙන් රජය සොයා බැලීමක් සිදුකළ යුතු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, රජය අදාළ ගාස්තු වැඩි කරන ලෙස කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති අවස්ථාවක දුරකථන සමාගම් විසින් අදාළ පැකේජ ගාස්තු වැඩි කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

මෙලෙස වැඩිකර ඇති ගාස්තුවලදී, නව සිම්පත් සහ පරණ සිම්පත් සඳහා ගාස්තු දෙයාකාරයට අය කරන බවත්, නව පාරිභෝගිකයෙක් සිම්පතක් මිලදීගත් පසු සාධාරණව වරප්‍රසාද හිමිකර ගැනීමට ඔහුට අයිතියක් ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම මාසයක් වලංගු බවට සඳහන් කරමින් දුරකථන සමාගම් විසින් අලෙවි කරන පැකේජ දවස් 20 න් පමණ අවසන් වන බවත්, දුරකථන සමාගම්වලින් රූපවාහිනි පැකේජ මිලදී ගැනීමේදී පාරිභෝගිකයා විසින් මිලදී ගත් පැකේජයට මාස කිහිපයක් ගිය පසු තවත් අලුත් නාලිකා කිහිපයක් එක්කර වැඩිපුර මුදල් අය කරන බවත්, මේවා සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සොයා බැලිය යුතු බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.

දුරකථන සමාගම් කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරාගැනීමටද පටන්ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළද කිසිදු පිළිතුරක් තවමත් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 864 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මීගමුව කලපු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උර 29 ක අසුරා තිබුණු මෙම බීඩි කොළ තොගය තම භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එසේම ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වත්මන් පාලකයින් විසින් මග හරිමින් ඉන්නේ ලංකා ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ආණ්ඩුව බවට පත්වීමට ලැබුණු අවස්ථාවයි – සංජීව එදිරිමාන්න

වත්මන් පාලකයින් විසින් මග හරිමින් සිටින්නේ ලංකා ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ආණ්ඩුව බවට පත්වීමට තිබූ අවස්ථාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ආණ්ඩුවක් විසින් මුහුණදෙන විශේෂ දේශපාලන අර්බුදයක්, යුද්ධයක්, ස්වභාවික විපත් හෝ වසංගත නොමැති තැනක වත්මන් ආණ්ඩුව සිටින බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එවැනි කිසිදු අර්බුදයක් නොමැතිව, විශාල දේශපාලන බලයක් සහිතව පත්වූ වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාව වේගයෙන් පිරිහෙන තැනකට පත්ව ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.