වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම අද සිට සිදු කෙරේ

ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව වගා හානි සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ.

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල අක්කර 13,379 ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක්

2024 වසරේදී ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පවසනවා.

ඒ අනුව කළේ 2023 වසරේ ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වූ අතර එය 2024 දී සිද්ධීන් 213 ක් දක්වා වර්ධනය වී ඇති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

ළමා අපයෝජන සිදුවීම්ද 2023 වසරේ දී සිද්ධීන් 1,237 ක් හා 2024 වසරේ දී සිද්ධීන් 1,254 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිනිය ප්‍රකාශ කළා.

මෙහිදී ගැබ් ගැනීමට ලක්වන දරුවා සහ ඉපදීමට සිටින දරුවාද වින්දිත තත්ත්වයට පත්වෙන බවත් බොහෝවිට අධ්‍යාපන කේෂ්ත්‍රයෙන් එම දරුවන් ඉවත්වන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි – ජනපති

ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි 2025 ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

679973ce2d4bapdf_page_3 679973ce1c088pdf_page_2 679973cd11a54pdf_page_1 679973cce4112pdf_page_0

හබරණ – මින්නේරිය ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබයි

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලංගම බස් රථයක් හා චාරිකාවක නිරතවෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

TRCSL අනුමැතියක් නොමැති ජංගම දුරකථන භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වාදීමට පියවර

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අනවසර ජංගම දුරකථන හේතුවෙන් මේ වන විට සමාජයේ පවතින අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ.

ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවත්, නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාඋස්සාකැලේ වතු නිවාස පෙලක ගින්නකින් නිවාස 08 ක් විනාශ වෙයි

මස්කෙළිය, මාඋස්සාකැලේ ප්‍රදේශයේ වතු නිවාස පෙලක ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස 08ක් ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.

මෙම ගින්නෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම වතු නිවාස පේළියෙහි නිවාස 12 ක් පැවති බවත්, වතු කම්කරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් එකතු වී එහි පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි වාර්තා වෙන්නේ.

ගින්නෙන් විනාශ වූ නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි සඳහන් වන්නේ.

විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්නට ඇති බවයි මස්කෙළිය පොලීසිය සැක පහළ කරන්නේ.‍

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාව විධිමත් නියාමනයකට යටත් කරන්න – ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය

සීගිරිය වැනි සංචාරකයන් බහුලව ගැවසෙන, සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශවලින් කුලී ගමන් (hire) ලබා ගැනීමේදී ත්‍රිරෝද රථ රියැදුරන්ට අඩත්තේට්ටම් හා හිරිහැර වන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මෙම තත්ත්වය දැන් උත්සන්න වී ඇති බවයි මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ.

මෙයට හේතුව වන්නේ ත්‍රිරෝද රථ කර්මාන්තය නිසි නියාමනයකින් තොරව අවුරුදු 45 ක් තිස්සේම අයාලේ යෑම බවත්, සමස්ත ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාවම සියළුම පාර්ශ්වයන්ට උපරිම ඵලදායී අයුරින්, විධිමත් නියාමනයකට යටත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කර සිටියා.

වර්තමානයේ නව තාක්ෂණය අනුව App මගින් ත්‍රිරෝද රථ සේවාව පවත්වා ගෙන යන බවත්, සමාජයේ පවතින වෙනස්කම් වලට අනුරූපීව ත්‍රිරෝද රථ කර්මාන්තය ද අනුවර්තනය විය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.‍

තවමත් ‘සමහරක්’ ත්‍රිරෝද රියදුරන් සුපුරුදු ලෙස පරණ විදියටම ඇඟේ හයියෙන්, කටේ හයියෙන්, චණ්ඩිකමෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සිතා සිටින බවද, ඒවා කල් පවත්වාගෙන යා නොහැකි බවද, පවතින ක්‍රමයට අනුගත නොවීම නිසා වඳ වී යෑමට සිදුවනු ඇති බවද ඔහු පවසා සිටියා.

නව තාක්ෂණයෙන් ලෝකය ඉදිරියට යද්දී, එයට පයින් ගසා සුපුරුදු ලෙස ගසාකෑම, සූරාකෑම පවත්වාගෙන යෑමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම්, තම සංගමය එයට විරුද්ධ වන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

ගාසා සටන් විරාමයට ඊශ්‍රායල රජයේ අනුමැතිය හිමිවේ

ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ඊශ්‍රායල රජය විසින් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය තීරණය කිරීමට නියමිතව තිබුණු අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඒ සඳහා ඇමතිවරුන් 24 දෙනෙකු විසින් ඡන්දය ප්‍රකාශ කර ඇති බවත්, අට දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අනුව ඉරිදා සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ගිවිසුම අදියර තුනකට බෙදා ඇති අතර, ඊශ්‍රායල සිර ගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් ගණනාවක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කිරීමෙන් එය ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුවී ඇති අතර, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් කාන්තාවන් සහ ළමුන් 65 ක් ඇතුළුව පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් ඇති බවයි හමාස් විසින් මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.

විදුලි ගාස්තු අඩුවන ආකාරය ගැන දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0-30 ත් අතර පාරිභෝගිකයින් සඳහා 29% ක අඩුවීමක් හා ඒකක 31-60 අතර කාණ්ඩයට 28% ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තුද පහත දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ඒකක 61-90 කාණ්ඩය සඳහා 19% ක අඩුවීමක්, ඒකක 91-180 කාණ්ඩය සඳහා 18% ක අඩුවීමක් හා 180 ට වැඩි කාණ්ඩය සඳහා 19% කින් විදුලි ගාස්තු අඩුවන බවයි සඳහන් වන්නේ.

පොදු කාර්ය සඳහා 12% ක විදුලි ගාස්තු අඩුවීමක් හා රාජ්‍ය ආයතන සඳහා 11% ක්, හෝටල් සඳහා 31% ක්, කර්මාන්ත සඳහා 30% ක්, ආගමික හා පුණ්‍යායතන සඳහා 21% ක්, වීථි ලාම්පු සඳහා 11% ක් ලෙස විදුලි ගාස්තු අඩුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

678a2a3b67eacpdf_page_0 678a2a3296195pdf_page_0