අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය ඔස්සේ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ.

ඊයේ (31) දිනයේ සිට ලබන මාර්තු 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ‍‍.

බෞද්ධාලෝක වෙසක් කලාපය පිළිබඳව ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර 24 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි සඳහන් වන්නේ.

මේ අනුව බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

679d819449e6dpdf_page_0

මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලිංගික අතවර චෝදනාවක​ට අත්අඩංගුවට

කාන්තා පොලිස් නිලධාරිනියක් හට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

අපේ පාර්ලිමේන්තු වැටුප යන්නේ පක්ෂ අරමුදලට – දේවානන්ද සුරවීර

පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා වැටුප ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදලට යොමු කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 160 දෙනාම සිය වැටුප් පක්ෂ අරමුදලට යොමු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ට ආහාර ලබාදීම සිදු කරන්නේ ජනතාව විසින් බවත්, තමන්ට ගැටලුවක් වී ඇත්තේ වාහනය සඳහා ඉන්ධන සහ දුරකථන ගාස්තු සඳහා වන වියදම් පමණක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඒ සඳහා පක්ෂයෙන් උදව් කරන්නේ නම් එය භාර ගන්නා බවත්, පක්ෂය විසින් පක්ෂයේ පිරිස් රැක බලා ගන්නා සංස්කෘතියක් සිය පක්ෂය තුළ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම දුම්රිය යළි ධාවනයට එක් කෙරෙන්නේ වසරකට පමණ පසුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය නතර කර තිබුණා.

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කෙරේ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීම සඳහා නව පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී තමන්ව විත්තිකරුවෙකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා ඉකුත්දා එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී තිබූ අතර, ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබුණා.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම පෙබරවාරි මස 07 වනදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය දැනුවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවට ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි බවත්, ඒ සඳහා 1997 කෙටි දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

679cbbf6dd8aapdf_page_0

ප්‍රියන්ත මායාදුන්නේ ඇප මත මුදා හැරීමට නියෝග

අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණා.

ඒ අනුව හි විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබූ බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ බවයි සඳහන්  වෙන්නේ.

2011 දී සිදු කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට සැඟවුණු වත්කම් සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝග​ය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතනය සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවයි එහි නේවාසික සම්බන්ධීකාරක Marc-André ප්‍රකාශ කර තිබෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය ඔහුගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප්‍රකාශ කර තිබෙනවා.

නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.