රටට ආර්ථික සමාජීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ අප සැම එකම අරගල බිමක අරගලකරුවන් – ජනපති

නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව ජීවත්වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටට ආර්ථික සාමාජීය හා සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව මතක තබා ගත යුතු බවයි නිදහස් දිනයේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී ආර්ථික තලය තුළ අපගේ නිදහස සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ආර්ථික නිදහස වෙනුවෙන් සිදුකරන අරගලය තුළ සමාජීය හා සංස්කෘතික නිදහස කිසිඳු ලෙසක දෙවැනි කොට තැකීමට සූදානම් නොමැති බවත් මේ සඳහා  රටේ විවිධ ක්ෂේත්‍රවලට වගකීම් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අනාගත පරපුරට තමා විසින් භාරදෙන රට තමාට ඉතිහාසය විසින් භාරදුන් රට නොව, ජීවත්වීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවට සපථ කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිරකරුවන් පිරිසකට අද රාජ්‍ය සමාව හිමිවෙයි

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (04) සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව  පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් අද (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නිදහස් දින සැමරුම හෙට

‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී හෙට (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා

අඩු පිරිවැයකින්, මහජනතාවට සිදු වන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව හමුදා සාමාජිකයන් 1,873කට හමුදා පෙළපාළිය සීමා කර ඇති අතර ගිය වසරට සාපේක්ෂව හමුදා පෙළපාළියේ සාමාජිකයන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙවර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනී­මටත්, ගුවන් යානා තුනක් පම­ණක් යොදා ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හෙට සුරාසැල් වැ​සේ

හෙට (04) සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.

අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4,943 ක් හඳුනාගැ​නේ

ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382 ක් ලෙසයි සටහන් වෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

පවතින තත්ත්වය මත තම අවට පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කරන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව, “අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු” යන්න බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.

1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹුනු අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීයී.

ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් හෙට (03) පරිසර අමාත්‍යංශය මඟින් සංවිධානය කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක් වෙන් කෙරේ

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483 ක් වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

“නාමල් සමග ගමින් ගමට” අද සිට ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන අද (02) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික වතාවක් සිදුකර මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ.

මෙම වැඩසටහනේදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

යෝෂිත රාජපක්ෂ ගිනිඅවි 7ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙයි

සිවිල්  පුද්ගලයින් සඳහා රජය නිකුත් කළ ගිනි අවි 180ක් සම්බන්ධයෙන් තොරතුරු ඒ පිළිබඳ සිදු කළ විගණනයට ඉදිරිපත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එලෙස ඉදිරිපත් නොකළ ගිනි අවි බලපත්‍රලාභීන්ට එරෙහිව තුවක්කු ආඥා පනතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම යෝෂිත රාජපක්ෂ මහතා තමන් සතුව තිබූ ගිනිඅවි 7 ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් සඳහන් කළේ.

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි රජය වෙත භාරගැනීමේ වැඩසටහන යටතේ, යෝෂිත රාජපක්ෂ මීට පෙර භාර දී තිබුණේ ගිනි අවි 5 ක් පමක් වන අතර පසුව අනෙතුත් දෙකද භාරදී තිබෙනවා.

නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියෙන් 1,650 ක්

නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් එම පෙරහුරු සහ ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිතව අද උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් ජනතාවට දැනුම් දෙනු ලබනවා.