තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත් ලබාදීමට පියවර

2025 මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ශව රැසක විරෝධයක්ද එල්ලවී තිබුණා.

රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 554 ක් අතරින් 59 ක් මිය ගිහින් – විදේශ ඇමති

රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රුසියානු හමුදාව සමඟ ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින අතර ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට එහි සිටින පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

කෝටි 06 කට අධික කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන් හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී රුපියල් කෝටි 06 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සන්තකයේ කේරළ ගංජා කිලෝ 192 ක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

ලුණු මිල ඉහළට

ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වාත් ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වාත් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති අතර, මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රුපියල් 11,000 ​ක අල්ලසක් ගත් තැපැල් නිලධාරියෙකු​ට වසර 7 ක සිර දඬුවමක්

රුපියල් 11,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩසහිත වසර 28 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000 ක දඩයක් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000 ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

කොළඹ ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බුද්ධිමය දේපල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීමේ කටයුතු ඉදිරියට සිදු කිරීම හා ඒ සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම පිණිස 2020-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මෙතෙක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත. ඒ අතරතුර, වෙළෙඳ සහ සේවා ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම හා ආශ්‍රිත තවත් සංශෝධන කිහිපයක් එකී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සංශෝධන ද ඇතුළත් කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67a34babd3904

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මක කිරීමට තීරණයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇතිවී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිරීමට නියමිත බවයි අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්යමණ්ඩලය සපයා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට ගත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67a3314be23f6

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 එළිදකී

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස GovPay පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67a0838d30ccfpdf_page_0