2025 වසරේදී විදේශ රැකියා 340,000 ක් ලබාදීමට පියවර

2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක සඳහන් කළේ.

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශගත වී ඇති අතර 2024 වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ස්වාධීන අභිචෝදක කාර්යාල​යක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව කරුණු කීපයකින් සමන්විත බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67a9d0a6de715pdf_page_0

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කළා – බලශක්ති ඇමති

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් අද දහවල් සිදු වුණා.

විදුලිය බිඳ වැටීම නිසා දුම්රිය හරස් මාර්ගවලදී ප්‍රවේශම්වන්න – ලදුදෙ

විදුලිය ඇණහිටීම හේතුවෙන් දුම්රිය ගේට්ටු සහ අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියා විරහිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය හරස් මාර්ගවලදී ප්‍රවේශම් වන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක් – විදුලිබල ඇමති

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

කොළඹ ජාතික රෝහල, ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති අතර අනෙකුත් ප්‍රදේශවලට හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිවෙස් වල සූර්ය බල පද්ධති සවස 4.00 වන තෙක් ජාතික පද්ධතියෙන් විසන්ධි කරන්න – ලංවිම

නිවෙස් වල වහලය මත සවිකර ඇති සූර්ය බල පද්ධති සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් නිවෙස් වල වහලය මත සවිකර ඇති සූර්ය බල පද්ධති අද (09) සවස 4.00 තෙක් ජාතික පද්ධතියෙන් විසන්ධි කර තබන ලෙසයි ඉල්ලීමක් කර තිබෙන්නේ.

බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද නිසා ලුණු හිඟය තවත් උග්‍ර වේවි – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය මගින් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් රටේ පවතින ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවයි එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කරන්නේ.

එසේම ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව පෙබරවාරි 28 න් පසු අවසන් වන බවද ඔහු පවසා සිටියා.

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (07) ආරම්භ වුණා.

ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67a5d05eb1fc2pdf_page_0

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රොටුඹ උපාලිට රැඳවුම් නියෝග ලබාගනී

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසනවා.

39 හැවිරිදි මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන විත්, මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී තිබෙන බවයි සඳහන් වන්නේ.

2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් අපහරණය කර ස්ත්‍රි දූෂණය කිරීම සහ 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනා සැකකරුට එරෙහිව එල්ල වී තිබෙනවා.

ගබඩා විවෘතව පැවතියත් තවමත් කිසිදු ගොවියෙක් වී ලබාදී නැහැ – වී අලෙවි මණ්ඩලය

ගබඩා විවෘතව පැවතියද කිසිදු ගොවියෙකු අද (07) දිනයේ වී අලෙවි මණ්ඩලයට වී ලබාදීමට කටයුතු කර නොමැති බව එම මණ්ඩලය පවසනවා.

ඒ අනුව වී මිලදී ගැනීම ඊයේ (06) ආරම්භ වුවද එම දිනයේද කිසිවෙකුත් වී ලබාදීමට කටයුතු කර නොමැති අතර ගොවීන් පවසන්නේ, රජයේ මිලට වඩා පෞද්ගලික මෝල් හිමියන් වැඩි මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර අරලිය සහල් මෝලේ වී මිල ප්‍රදර්ශනය කර තිබූ අතර රජයේ මිලටම වඩා සෑම වී වර්ගයක්ම රුපියල් 5 ක් වැඩියෙන් එම සමාගම විසින් මිලදී ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.