සුජීව සේනසිංහගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබාදී තිබෙනවා.

විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහි වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ අතර, ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සුජීව සේනසිංහ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාවේ සැඟව සිටි අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි

අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති අදාළ අපරාධකරු මෙලෙස ඊයේ (12) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

ඔහු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව Adani Green Energy නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින්, මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ගෞරවාන්විත ලෙස තම සමාගම ඉවත් වන බවත්, ලංකා ආයෝජන මණ්ඩලය වෙත ද මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි එම සමාගම වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67ad94642e89fpdf_page_1 67ad946410a12pdf_page_0

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනයට සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති නමුත්, ඒවා සාර්ථක වී නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම කාර්යය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපිත කර සුදුසු උපායමාර්ගික ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම සඳහාත්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි සඳහන් වෙන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීම, (BOT) පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මුල්‍ය සම්පාදක / ආයෝජකයින් හඳුනා ගැනීම සහ තෝරා ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

67ab28f9e21ac

දරුවෙකුගේ වකුගඩුවක් ඉවත් කළ සිද්ධියට අදාළ නඩු තීන්දුව 25 වනදාට ලබාදීමට තීරණය කෙරේ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන, මේ වන විට විදේශගත වී සිටින, වෛද්‍ය නවීන් විජේකෝන්ගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පොලිසියේ ගිනි අවියක් සොරාගෙන ඩුබායි පැන්න කොස්තාපල්ගේ වැඩ තහනම් කෙරේ

ගල්කිස්ස පොලිසියේ රාජකාරියේ සිටියදී T-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30ක් සොරාගෙන පසුව ඩුබායි වෙත පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430 – ජේ.ඒ.කේ.පී. ජයකොඩි නැමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයා බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පොලිස් නිළධාරීයා ඩුබායි වෙත පළායාමට පෙර ඔහු සතුව තිබූ ගිනි අවිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ලබාදී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පොලීසියේ 17ක් සේවයෙන් ඉවත් කිරීමට පියවර

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා.

පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට ලක් කරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව එලෙස හඳුනාගත් ලැයිස්තුවක් පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කිරීමක් සිදුකර, ඔවුන් වෛද්‍ය පරික්ෂණයට යොමුකර, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදුකර ඇති බවට අනාවරණය වන්නේ නම් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා පොලීසිය නව විමර්ශන කාර්යාංශයක් පිහිටුවයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම එහි නියෝජ්‍ය පොලිස්පති ‍ලෙස නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන ප්‍රකාශයට පත් කරයි

හෙට (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 3.30 සිට 10.00 දක්වා කාණ්ඩ 4 ක් යටතේ අද සහ හෙට විදුලි කප්පාදුව සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කාලසටහන පහතින්.

67aa0cca2f670pdf_page_0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට නව කොමසාරිස්වරයෙක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට නව කොමසාරිස්වරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියකු වන අනූපම මංගල වික්‍රමාරච්චි මේ සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහු ඊයේ (09) දිනයේ සිය ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි වැඩිදුටත් සඳහන් වෙන්නේ.