මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි 13 ක් බේරාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 13 ක් බේරාගෙන තිබෙනවා.

මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක් බවයි සඳහන් වෙන්නේ.

මුදා ගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර එහිදී ඔවුන් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතර තවත් සිව්දෙනෙක් මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටින බවත් ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් කෝටි 36 ක හෂීස් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි 36 ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය 36 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇඳ ඇතිරිළි කීපයක් තුළ ඔතා සඟවා ගෙන තිබී කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500ක “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්

වසස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසික දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මගින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

2025 පෙරබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උපතැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වැනි දින සිට ගෙවීමට සිදු කිරීමට අවශ්‍යය කටයුතු සිදුකරනු ලබන බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අත්හැර දමා ඇති බව පැවසීම සම්පූර්ණයෙන් අසත්‍යයි – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන පුවත් වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා‍.

ඒ අනුව, එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති බව ද, මෙවර අයවැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් ද සිදුකර නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත්, ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට දැනුම්දීමක්

ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම් උදය කුමාර පවසනවා.

13 වැනිදා පස්වරුවේ මෙම ගින්න හටගත් අතර, ඒ හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී, එම ගල් පුපුරායාමේ අවදානමක්ද මතුවී තිබුණු බවයි සඳහන් වන්නේ.

මේ වනවිට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින්, ගල් පහළට පෙරළීමේ අවදානමක් ද ඇති බවත්, ඒ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රිය ධාවනය කළ යුතු බවට දැනුම්දෙන බවයි සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හදිසියේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා්‍.

ඒ අනුව, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයක් (බ්‍රොන්කයිටිස්) හේතුවෙන් පාප් වහන්සේ රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ බවත්, එතුමා තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දැක්වෙන්නේ.‍

කෙසේ වුවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද සිට මොරටුවෙන් ගමන් ආරම්භ කෙරේ

කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රිය අද දින සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 6.55 ට ගමන් ආරම්භ කොට, කොටුව දුම්රිය ස්ථනයට පැමිණෙන අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එය රාත්‍රී 8.00 ට කන්කසන්තුරය බලා ධාවනය වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන, සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඔවුන්ට මෙලෙස චෝදනා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙසේ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම අධිචෝදනාව පත්‍ර ගොනු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් ඉදිරිපත් කළ ඇප පෙත්සම ඉල්ලා අස්කර ගනියි

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට නඩු පවරා තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම මෙම සිද්ධියට අදාළ නඩුකරය පිළිබඳව 2015 වසරේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර, ඊට අදාළව පෙත්සම්කරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් මහෙස්ත්‍රාත්වරයා වෙත ලබා දී තිබෙනවා.

මෙහිදී පෙත්සම්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හෙයින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර පතන බවත්, මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සුදුසු අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙනවා.

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 02ක් පොලිස් භාරයට

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 02ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල හා කැලණිය, දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.