කෙහෙළියගේ දුරකථන බිල් නඩු​වේ සාක්ෂි විභාගය ඇර​ඹේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබෙනවා.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240,000/- කට ආසන්න සිය පෞද්ගලික ජංගම දුරකථන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට චෝදනා එල්ල වී තිබෙනවා.

වැඩ තහනම්​ව නැවත සක්‍රීය සේවයට එක්ව​න පොලිස් නිලධාරීන් සම්බන්ධව නියෝගයක්

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඉහත සඳහන් පොලිස් නිලධරයින් සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර, මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට, පොලිස් රෝහලේදී අදාළ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

කිසියම් නිලධරයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම්, එම නිලධාරියා වෙත නැවත සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බවයි වැඩබලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67b4070ce2543pdf_page_0

ඝාතනයකට සම්බන්ධ 15 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඇහැළියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මෝරගල හන්දිය ප්‍රදේශයේදී 15 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2025 ජනවාරි 17 වන දින ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර, තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණු සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරට​ට ගෙනා සැකකරුවන් 04 ක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු ඊයේ (17) දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ 23, 35, 48 හා 51 හැවිරිදි විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 101,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 505 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2025 අයවැය පරතරය රුපියල් බිලියන 2,200 ක් ලෙස වාර්තා වෙයි

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

2025 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,990 ක් ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන බවයි එහි දක්වා තිබෙන්නේ.

එසේම වියදම් ලෙස රුපියල් බිලියන 7,190 ක් රජය ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200 බවයි අයවැය වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ලේඛණය පහතින්.

අයවැය කතාව අවසන්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ 2025 අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව පස්වරු 2.00 දක්වා කල් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය සේවයේ අව​ම මූලි​ක වැටුප රුපියල් 15,750 කින් වැඩි කෙරේ – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කරනවා.

* දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ.

* රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 ක් වැඩි කිරීමට යෝජනා කරනවා.

* දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදුකිරීමට යෝජනා කරනවා.

* මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000 ක් සහ ඉතිරි මුදල 30% ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට කටයුතු කරනවා.

* මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලබන බව සහතික කරමින් 2025 ජනවාරි 01 හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කරනවා.

* මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* රු 15,750 කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80% කින් වැඩිකරන බවත් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු. 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු. 500 ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරනවා.

* පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට විසි හත්දාහක් දක්වාත් ලබන ජනවාරියේ සිට 30,000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා.

සංහිඳියාවෙන් යුතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ශ්‍රී ලාංකික දිනය නමැති ජාතික උත්සවයක් හඳුන්වාදෙනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* දුෂණය පිටු දැකීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර, අල්ලස් කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා

* අපරාධ ආදායම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන අතර, අපරාධ ආදායම් පිළිබඳ නීති සමාලෝචනය කර නැවත ක්‍රියාත්මක කරනවා.

*  සියලු ජනතාවට එක්ව සංහිඳියාවෙන් සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් වන “ශ්‍රී ලාංකික දිනය” පැවැත්වීමට රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.

* මහල් නිවාස සඳහා අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කරනවා.

* කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ සඳහා චීන ආධාර යටතේ නිවාස ඒකක එකසිය අටකින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.

ඇල්ල රොක් ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ එය අසාර්ථක සහ අධික වියදම් සහිත නිසා – සංචාරක නියෝජ්‍ය ඇමති

ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙළිකොප්ටර් යානා යොදා නොගත්තේ එය අසාර්ථක හා අධික වියදම් සහිත වීම හේතුවෙන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ පවසනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමට හෙළිකොප්ටර් යොදා ගැනීම තුළින් නිවැරදි ඉලක්කයට ගින්න නිවීමට නොහැකි බවත් එය අසාර්ථක වන බවට තමන් ආරක්ෂක ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

යළිත් මෙවැනි ගිනි තැබීම් කටයුතු සිදු නොකිරීමට අවශ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“එක මිටට, ගොවි බිමට” වැඩසටහන ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආරම්භ කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වාගෙන යාම, කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලු කුඹුරු සහ ගොඩඉඩම් වගාකරවීමට ගොවි ජනතාව දැනුවත් කිරීම ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බලප්‍රදේශ 566 ක මෙය පැවැත්වෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.