මිද්දෙණිය ඝාතන සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබා දී තිබෙනවා.

තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ඇති බව පොලීසිය විසින් අධිකරණයට දැන්වීමෙන් පසු, එම සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණට විසින් පොලීසියට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය 18 වැනිදා සිදුකළ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා මෙසේ ඝාතනය කර තිබුණා.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමට නියමිතව තිබුණු දුම්රිය කිහිපයක් අද (22) තාවකාලිව අත්හිටුවීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව, පහත සඳහන් දුම්රිය ධාවනය කිරීම තාවකාලිකව නතර කිරීමට නියමිතයි.

* අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)* අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)* අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)* අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)* අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ සඳහා වූ ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම “ජල බැටරිය” වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

2030 වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බල ශක්තිය කරා යන පරිවර්තනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර, වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගන්නා බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67b8038eb92dcpdf_page_0

හෙට උණුසුම් කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්

හෙට (22) දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

OnmaxDT මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 07 දක්වා රිමාන්ඩ්

OnmaxDT පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක ඉංජිනේරුවකු බව කියන සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අද (21) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ජා-ඇළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ජා-ඇළ, පමුණුව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා දැනුම්දීමක්

පවතින අධික උෂ්ණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව පාසල් ක්‍රියාකාරකම්වල දී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් මෙම නිර්දේශ යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ, ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැලැක්විය යුතු බවත්, පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වලක්වා ගත යුතු බවයි සඳහන් වෙන්නේ.

වැඩිපුර ජලය පානය කිරීමත්, වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීමත් වඩාත් සුදුසු වන අතර, දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම සුදුසු බවද එහි සඳහන්.

එසේම ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය / කාළගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු බවයි එම නිර්දේශවල දක්වා තිබෙන්නේ.

අදාළ නිර්දේශ පහතින්.

67b712e156a2b 67b712e137396

ගණේමුල්ල සංජීව ඝාතනයට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුව

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව, අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා තිබු බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර තිබූ බවත්, ඒ අනුව එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධික පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර, එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67b7084635e6b

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ වෑන් රථ රියැදුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.