මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක රසායනික කාන්දුවක්

මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙමින් තිබෙනවා.

ඒ අනුව කොළඹ ගිනි නිවන ඒකකයේ රථ 03ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට 27 වැනිදා නිවාඩු

අනිද්දා (27) දිනයේදී සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන්, ඊට පසුදා මෙලෙස නිවාඩු ලබාදෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සඳහන් කළේ.

මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණා.

සූදු ක්‍රීඩා නියාමනය කිරීමට නව අධිකාරියක්

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙහිදී සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම හා ආර්ථික වර්ධනය කිරීම සඳහා පුළුල් හා පුර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ සඳහා වූ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2023-06-26 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙන අතර, ඒ අනුව එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය අඛණ්ඩව කරගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබෙනවා.

එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67bd90b19e716

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට කඩිනමින් දින නියම කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා – ජනපති

පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් කඩිනමින් දින නියම කරනු ඇති බවට විශ්වාසය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේ ද අපේක්ෂාව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් ද රජය වෙන් කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තව ටික දවසකින් මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා – නාමල්

පසුගිය ආණ්ඩුවලට චෝදනා නොකර, පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තවත් දින කිහිපයක් යන විට තමාව අත්අඩංගුවට ගනු ලැබුවහොත් පුදුම නොවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව එය පිටින් දමා හෝ පවතින ගැටලුව යටපත් කිරීමට උත්සාහ කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුවට ඉතුරු වී ඇත්තේ තමා අත්අඩංගුවට ගෙන, ඝාතන රැල්ල ජනතාවගේ මනසින් ඉවත් කර ගැනීම පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ සහාය දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවෙයි

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කොටහේන පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ සැකකරු කොටහේන පොලීසිය විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, එම සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

හෙටත් ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වයක්

හෙට (25) දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබී ජීව උණ්​ඩ තොගයක් හමුවෙයි

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව උණ්ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම ජීව උණ්ඩ තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කිරීමේදී මෙය සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුවෙකු නොමැති ජීව උණ්ඩ 123 අතර පිස්තෝල උණ්ඩ 113 ක්, ටී56 උණ්ඩ 09ක් හා ටී 56 එල්එම්ජී උණ්ඩයක් තිබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ඇරඹෙයි

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට පසු නැවත ඊයේ (22) කන්කසන්තුරේ වරායට ළඟාවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කර තිබුණා.

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපි​ට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබාගෙන අපරාධයට පෙර දින වෙඩික්කරු වෙත ලැබීමට සැලැස්වීම සම්බන්ධයෙන් ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ 25 හැවිරිදි තරුණයෙකු සහ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.