අද දිනයට ඉන්ධන තොග 2924ක් ඇණවුම් කර තිබෙනවා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය ආකාරයට කටයුතු සිද්ධ වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

ඒ අනුව, ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බවයි අද (01) පෙරවරුවේ  සභාපතිවරයා පවසා සිටියේ.

අද උදෑසන වන විට CPC ආයතනයට මුදල් ගෙවා ඉන්ධන තොග 1696ක් ඇණවුම් කර තිබෙන බවත්, එසේම, IOC සඳහා 471ක්, Sinopec සඳහා 391ක් සහ RM Park සඳහා 366ක් ආදී ලෙස මුළු ඉන්ධන තොග 2924ක් සාමාන්‍ය පරිදි බෙදා හරිමින් පවතින බවද සඳහන්.යම් කණ්ඩායමක් විසින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හරහා කළබලයක් ඇති කිරීම නිසා මහජනතාව බිය වී ඉන්ධන පෝලිම් ඇති වී ඇති බවත්, මෙම කරුණ ගැන සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා දින සවස 2.00ට අදාළ පාර්ශ්ව කැඳවන බවත් ඔහු සඳහන් කළා.

මේ අනුව ගත්විට, ඉන්ධන ගැටළුවක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, රටේ ජනතාවට කලබල වීමට හේතුවක් නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියේ.

යාල ජාතික වනෝද්‍යානය අධික වැසි නිසා තාවකාලිකව වසා දැමේ

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම වනෝද්‍යානය භාරකාරු මනෝජ් විද්‍යාරත්න පවසනවා.

පවතින වැසි තත්ත්වය පහව යනතුරු මෙම තීරණය ගත් බවත්, පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, වන සතුන්ගේ ආරක්ෂාව හා සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බවත්, යාල කලාප අංක 01ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දමා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

හාලිඇල හා බදුල්ල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

එසේම, ඉඟුරුඔය හා ගලබොඩ අතර දී ගසක් කඩා වැටීම නිසා ද ධාවනයට බාධා ඇති වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එම බාධක ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියා.

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, එම අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම යටතේ සැකපිට මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් ද, මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙක් ද එසේ අත්අඩංගුවට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 61 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

චාරුලතා, සුජාතා, කන්දේ ගෙදර, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, මනෝකාය වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලට ද, සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන් ශොට්, උඩුගං යාමය, ප්‍රවේගය, නිදහසේ පියා DS වැනි චිත්‍රපටවලට ද ඇය රංගන දායකත්වය ලබා දුන්නා‍.

IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ශ්‍රී ලංකාව සමඟ වන මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ IMF විධායක මණ්ඩලයේ තුන්වන සමාලෝචනය සම්පූර්ණ කළ අතර, එමඟින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 334 ක ක්ෂණික ප්‍රවේශයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.34 ක් බවයි සඳහන් වන්නේ.

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දරමින් ඇති අතර, ආර්ථික ප්‍රකෘතිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, උද්ධමනය අඩු මට්ටමක පවතින බවත්, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින්, සංචිත අඛණ්ඩව රැස් වෙමින් පවතින බවත් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා සිටියා.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය කැපී පෙනෙන බවද, මෑතකදී බැඳුම්කර හුවමාරුව සාර්ථකව නිම කිරීම ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රධාන සන්ධිස්ථානයක් වන බව ද, නිල ණයහිමි කමිටුවේ ණය හිමියන් සමඟ සහ ඉතිරි ණය හිමියන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් කාලෝචිත ලෙස අවසන් කිරීම දැන් ඇති ප්‍රමුඛතාවය බවද නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රාමසාන් උපවාස මාසය ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

අද (28) නව සඳ නොදැකීම හේතුවෙන් රාමසාන් උපවාස මාසය ලබන ඉරිදා (02) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවෙයි

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, -4.2% ක් දක්වා  තව දුරටත් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හාර කාණ්ඩයේ උද්ධමනය 2025  පෙබරවාරි මාසයේ දී -0.2%ක් දක්වා  වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ එය වාර්තාවී තිබුණේ -2.6%ක්  ලෙසයි.

එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තාවී තිබුණා.

අදාළ වාර්තාව පහතින්.

67c18ff29260apdf_page_4

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නොවන බව දැනුම්දෙයි

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත වුණා.

ඒ අනුව වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 88 ක් හා විපක්ෂව ඡන්ද 10 ක් හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.