ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව යළි කල් තබයි

හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අද (04) කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට, අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් නිවේදනයක්

වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියන් සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විසින් විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි එම නිවේදනය මඟින් දක්වා තිබෙන්නේ.

එමෙන්ම එකී බලතල වන උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සෑමවිටම පොලිස්පතිවරයා විමසා සිදු කරනු ලබන බවයි එහි සඳහන් වෙන්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

67c6b5dac68a4pdf_page_1 67c6b5da98d9dpdf_page_0

වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක අධිකරණයට

වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අධිකරණය වෙත භාර වී තිබෙනවා.

ඔහු අද (04) දහවල් මෙලෙස අධිකරණය වෙත භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණා.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

අද (04) දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරීන් පිරිසක් විසින් පොල්දූව මංසන්ධියේදී පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරන ධම්මික මුණසිංහ, අමන්දා ගමගේ, දිනුෂා ඒකනායක, පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් හා රාජකාරී යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කර තිබෙන අතර, කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියලු වගඋත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත්, කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කුඩු රොෂාන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි, විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂා නමැති විත්තිකාරියට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඇය මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් නමැත්තාගේ බිරිඳ බවයි සඳහන් වෙන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා ලද බුද්ධි තොරතුරකට අනුව පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම විත්තිකාරිය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබූ බවත්, පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර පරීක්ෂාවක් සිදු කළ බවත්, එහිදී එහි අන්තර්ගත ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 3.58 ක් බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන් අනතුරුව මෙම විත්තිකාරියට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර, නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කර ඇත්තේ, විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවයි.

වන අලි දුම්රිය හා ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වන අලි දුම්රිය හා ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ වනවිට සිදු වී තිබෙන දුම්රිය හා අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද, අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුන් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

2025 සංචාරක පැමිණීම් ලක්ෂ 05ට ආසන්න වෙයි

2025 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම කාල සීමාව තුළදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවල්වලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

අදාළ වාර්තාව පහතින්.

67c57d9e6c9a3

වෛද්‍යවරුන්​ගේ අභිමානයට සිදුකරන මේ අභියෝගයට අපි ලෑස්තියි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව වන මූලික වැටුපෙන් 1/80 ක මුදල සහ නිවාඩු දින දීමනාව වන මූලික වැටුපෙන් 1/20 ක මුදල පිළිවෙලින් මූලික වැටුපෙන් 1/120 සහ 1/30 ක් ලෙස කප්පාදු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැටලුව සඳහා රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබාදීමට මාර්තු 05 දක්වා කාලය ලබාදෙන බවත්, නිශ්චිත පිළිතුරක් නොලැබුණහොත් මාර්තු 05 දින සිට හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට ඒකමතිකව තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

මෙම සියළු දීමනාවන් කිසිඳු වෙනසක් නොකර ලබාදිය යුතු බවත්, මෙය වෛද්‍යවරුන්ගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා මේ අභියෝග කරන්නේ වෛද්‍යවරුන්ගේ අභිමානයට බවත් ඒ අභියෝගයට මුහුණ දීමට තමන් ලෑස්ති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අයවැය තෙවනවර කියවීමේදී මෙය නිවැරදි කිරීමට කටයුතු නොකළහොත්, මාර්තු 07 වනදා සිට දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය සිදු කෙරේ

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය පසුගියදා සිදුකර තිබෙනවා.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් ඊයේ දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබුණා.

දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක් පනවයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තහනම පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ලවී තිබෙනවා.