බටලන්ද පිළිබඳව අනිද්දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දළයක් කැඩුණු සුමේධ ඇතා සොයාගැනේ

ලොරි රථයක ගැටී දළයක් ගැලවී අතුරුදන්ව සිටි “සුමේධ” ඇතා වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මරදන්කඩවල – ලබුනෝරුව ප්‍රදේශයේදී අදාළ ඇතා සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කර තිබෙනවා.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවරිදි සැකකරු ඊයේ (12) රාත්‍රීයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳ වැටෙයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3ක් අක්‍රීයවී තිබෙනවා.

අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 5 ක් පවතින බවත් ඉන් 3 ක් මෙලෙස අක්‍රීයවී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථා තත්වයට පත්කළ යුතු බවට, කොන්දේසියක් පනවන අතර එලෙස සිදුකිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම් ගත මුදලින් දිනකට 1% කට අධි භාරයක් අදාළ සමාගමෙන් අය කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එලෙස අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බවයි චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය ලක්කිරීමේ සිද්ධියට අදාළ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (12) රාත්‍රියේ දී ගල්නෑව ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාලය මාර්තු 17 දක්වා දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ කාලය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් හා කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස දීර්ඝ කිරීම සිදු කළ බවයි එම කොමිසම සඳහන් කළේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

news images

සිසුන්ට පහරදුන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවයි

පෞද්ගලික උපකාරක පන්තියක දී සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයාට ඊයේ (11) දිනයේදී ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණ ද, ඔහු ඒ සඳහා නොපැමිණි බවයි ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව, මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මාකුඹුරේ අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක්

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කර ගනිමින් මෙය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමිවන අතර, මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළි දැක්වීම ද සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.