දේශබන්දු රිමාන්ඩ් කිරීමට නියෝග

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද උදෑසන අධිකරණයට භාරවීමෙන් පසු පස්වරුවේ දී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබෙනවා.

නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිසිය සතු වගකීමක් – ජනපති

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම, නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවයි බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මත්ද්‍රව්‍ය සිද්ධියකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් රුපියල් 100,000 ක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවයි එම තීන්දුව මඟින් ප්‍රකාශ කර තිබෙන්නේ.

පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත්, කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය​ට කැබිනට් අනුමැතිය

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

හරක් කටාට පැන යාමට උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා භාරදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.

එම අධි චෝදනා පවරා, පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට නියම කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.

සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට සංකේත වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

ඒ අනුව කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බවයි සංගමයේ සභාපති රවි කුමුදේෂ් වැඩිදුරටත් සඳහන් කළේ.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමට සම්බන්ධ සැකකරු 24 දක්වා රිමාන්ඩ්

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කිරීම සම්බන්ධ සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

පසුගියදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

ඒ අනුව අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා සඳහන් කළේ.

අප්‍රේල් 10 වනදා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.

පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කර තිබුණා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.