විදුලි උප පොළක බිඳ වැටීමක් නිසා Heathrow ගුවන්තොටුපොළ වසා දැමේ

එංගලන්තයේ විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන Heathrow ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ගුවන් තොටුපළ ආසන්න විදුලි උප පොළක ගින්නක් නිසා ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසා ගුවන් තොටුපළට ලඟාවන සහ එයින් පිටවන ගුවන් යානා ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම බිඳවැටීම හේතුවෙන් නිවාස රැසකට ද විදුලිය විසන්ධි වී ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් Samuel Paparo අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පැවැත්වී තිබෙනවා.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ අගයමින් අද්මිරාල්වරයා සිය සුබපැතුම් පිරි නැමූ අතර, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින්, සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දෙන සහායද ඔහු පැසසුමට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් සිය සහාය ලබා දෙන බවයි අද්මිරාල් Samuel Paparo සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව අයදුම්කරුවන් විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඇති (www.parliament.lk) ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එසේ සම්පුර්ණ කරන අයදුම්පත්‍ර 2025 අප්‍රේල් 01 දින හෝ ඊට පෙර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.

නැතිනම් constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරට පත් ගුවන් යානය පිළිබඳව විමර්ෂණයට කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බල ඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවීමි සදහා යොදාගනු ලබන K8 වර්ගයේ ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරට පත් වුණා.

කුරුණෑගල, වාරියපොල, පාදෙණිය ප්‍රදේශයේදී එම ගුවන් යානය හදිසි අනතුරට ලක්ව ඇති අතර, එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත් වී පාදෙණිය, මිනුවන්ගැටේ විද්‍යාල පරිශ්‍රයට පැරිෂුට් ආධාරයෙන් ගොඩ බැස තිබුණා.

මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති බවද, එම නිළධාරින් මේ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද ගුවන් හමුදා මූලස්ථානය නිවේදනය කර සිටිනවා.

ගුවන් අනතුර පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත්කර තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදුකර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – Adani Green Energy

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදුකර ඇති බවට පළවන වාර්තා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර තිබෙන්නේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට සමාගම සම්පූර්ණයෙන් කැපවී සිටින බවත්, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති බවත්, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත් ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බවයි අදානි සමූහය පවසා තිබෙන්නේ.

දේශබන්දු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්

තාවකාලික වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව අද (20) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වරෙන්තු නිකුත් වී සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර අධිකරණයට පැමිණ භාරවීමෙන් අනතුරුව, අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබෙනවා.

අපේ ජනගහනයෙන් දවසට දෙවරක් දත් මදින්නේ 50%යි – විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක

ජනතාව තුළ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින්නේ අඩු උනන්දුවක් බව විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසනවා.

ඒ අනුව මෙරට ජනගහනයෙන් දිනකට දෙවරක් දත් මැදීම සිදු කරන්නේ 50% ක ප්‍රතිශතයක් පමණක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ලෝක ජනගහනයෙන් බිලියන 3.5ක්ම මුඛ රෝගවලින් පීඩා විඳින බවත්, මුඛ රෝගවලින් පීඩා විඳින සෑම 04 දෙනෙක්ගෙන්ම තිදෙනෙක් අඩු ආදායම්ලාභී රටවලින් වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

ජාතික ආර්ථිකයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා – අගමැතිනිය

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද ආර්ථික ක්ෂේත්‍රය සඳහා කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ආර්ථිකයට දායක වන පුරුෂ පාර්ශ්වයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක් බවත්, දේශීය වශයෙන් එය 71% ක් බවත්, ඊට සාපේක්ෂව කාන්තා සහභාගිත්ව ප්‍රතිශතය ගෝලීය වශයෙන් 47% ක් සහ දේශීය වශයෙන් 32% ක් පමණ වන බවයි අගමැතිවරිය සඳහන් කළේ.

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ආසියානු සංවර්ධන බැංකුව ඒකාබද්ධව සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය (WE Finance Code) එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

කාන්තාවන්ට ව්‍යවසායිකාවන් ලෙස නැගී සිටීමට බාධාවක් වන මූල්‍ය ප්‍රවේශය, වෙළඳපල, ශ්‍රම පුහුණු සහ තාක්ෂණික වශයෙන් පවතින ව්‍යුහාත්මක අවහිරතා ඉවත් කිරීම වැදගත් වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

රුපියල් මිලියන 3.8 කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් නියම කිරීමටත්, රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත එම කීරි සම්බා සහල් තොගය රාජසන්තක කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ 12 ප්‍රදේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව පසුගිය මස 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නඩුවේදී එම පුද්ගලයින් විසින් වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

එසේම එම වෙළෙඳසැලේ සඟවා තබා තිබිය දී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 05 ඇසුරුම් 3,000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර, රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය ද ඊයේ (18) අධිකරණය විසින් රාජසන්තක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බියර් කන්ටේනර් රථයක් පෙරළී අනතුරක්

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයේදී බියර් කන්ටේනර් රථයක් පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.