රට යන මාර්ගය නිවැරදියි – රවී කරුණානායක

යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක් සහිතව ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් සාකච්ඡාවට ලක් කළ යුතු බවත්, නව අදහස් නොමැති වුවද පැවති මාර්ගයේම ඉදිරියට ගොස් ඉලක්ක සපුරාගත හැකි නම් රට යන මාර්ගය නිවැරදි බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙරටට පැමිණෙන ආයෝජකයින් දිරිගැන්වීම සඳහා සිදුකළ යුතු කරණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවත්, 36% ක පමණ ආදායම් බදු ගෙවන රටකට ආයෝජකයින් පැමිණෙනවාද යන්න ගැටලුසහත බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණාවරණය අගෝස්තු මාසයේ සිට ලක්ෂ දෙකහාමාර දක්වා අඩු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්, තමා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී එම රක්ෂණාවරණය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

නිවසින් ආහාර ගෙන්වා ගැනීමට දේශබන්දුගෙන් ඉල්ලීමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ.

අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් ඔහුට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අප්‍රේල් මස 03 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Facebook සාදයක් වටලා 76 දෙනෙක් අත්අඩංගුවට ගනී

Facebook සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගුවන් හමුදාවේ සියලුම K-8 ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K-8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

පසුගිය සිකුරාදා K-8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටී තිබුණා.

ඊයේ දෙවිනුවර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

දෙවිනුවර, සිංහාසන පාරේදී ඊයේ (21) රාත්‍රියේ තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි හි සැඟව සිටින ‘බාලේ මල්ලි’ ලෙස හැඳින්වෙන අපරාධකරු ෂෙහාන් සත්සර විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකින් පැමිණෙමින් සිටි 28 හා 29 හැවිරිදි පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නම් තරුණයින් දෙදෙනායි.

වෙඩි තැබීමට භාවිතා කළ වෑන් රථය වැල්ලමඩම ප්‍රදේශයේදී ගිනි තබා තිබුණු තත්ත්වයෙන් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින් කොළඹ Night Club ආරක්ෂක නිලධාරියෙකුට තුවාල

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (22) අළුයම යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ඇතුළු මෙම පිරිස සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී, හඳුනා ගැනීමේ අත්පළඳනා පැළඳගන්නා ලෙස සමාජ ශාලා ආරක්ෂකයින් පවසා තිබෙනවා.

මෙහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවූ බවයි පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම අවසන්

2025 වසර සඳහා පාසල් සිසුන් වෙත නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සම්පූර්ණ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අනුව රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් 10,096ක් සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා රෙදි බෙදාහැරීම් සිදුකර තිබෙනවා.

මෙවර ලබාදුන් රෙදිවලින් ප්‍රතිලාභ ලැබූ සමස්ත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් වන අතර, ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12ක් පමණ චීන රජයෙන් ලබාදුන් ප්‍රදානයක්.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 සිට අඛණ්ඩව සිදුකරන අතර, 2025 වසර සඳහා අවශ්‍යතාවයේ 100%ම මහජන චීන සමූහාණ්ඩුව විසින් සපයා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

වරකාපොලදී බස් රථ දෙකක් ගැටීමෙන් 30කට වැඩි පිරිසක් තුවාල ලබයි

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද (22) සුළු මොහොතකට පෙර සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ, මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ අතර ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක්.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින අතර, අනතුරෙන් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් ද අනතුරට ලක්වීම නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

රුපියල් මිලියන 60ක කේරළ ගංජා යාපනයෙන් සොයාගනී

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න තොගයක්, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන් පොලීසිය විසින් අද (22) අළුයම සොයාගෙන තිබෙනවා.

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී, මෙම ගංජා පාර්සල් 154ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අප්‍රේල් 04 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 10 දෙනා ලබන 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන්ට එරෙහි නඩුව අද (21) Skype ඔස්සේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ සිද්ධියේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින මීගමුව පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි යන කාන්තාව අතර සම්බන්ධතා පැවැති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 55 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, රාජ්‍ය ආයතනවලින් තවත් සාක්ෂි 25ක් පමණ එක් රැස් කරගෙන තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.