හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය නිවේදනය කෙරේ

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරත වී සිටින අතර, අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කළ යුතු බවයි විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

එසේම, රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර, ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර, තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවයි තවදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් වෙත අද දින (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දුන් බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

අදාල නිවේදනය පහතින්.

news images

හිටපු හමුදාපතිවරුන්ට එරෙහිව පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම හමුදා ප්‍රධානීන්ට අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවත්, එවකට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමන් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළ බවත්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළ බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

යුද්ධය අතරතුරදී මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍ය රජය විසින් කරන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.

දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත ද, දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනකගේ ද ජීවිත අහිමි වූ බවත්, 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අවසන් යුද්ධයේ ක්‍රියාකළ යුධ හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත් බව ද, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින් නිෂ්ප්‍රභා වන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින්, විදේශීය රජයයන් සහ සංවිධානවලින් එල්ලවෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්

news images

news images

බන්ධනාගාරගත කර සිටින දේශබන්දුගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පැවසුවේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම W15 හෝටලය අසළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි – නලින්ද ජයතිස්ස

Starlink චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, මෙම අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලාංකිකයින්ට Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට ප්‍රවේශ විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී අන්තර්ජාල පරිශීලකයින් හට සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීමට මෙන්ම, ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමටද රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

නමුත්, මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ, අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින්, වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බව හඳුනාගෙන තිබෙනවා.

එබැවින්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් පෙර අමාත්‍ය මණ්ඩල විසින් ගනු ලැබූ තීරණය අවලංගු කර, ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව, එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් නාමල්ගෙන් නිවේදනයක්

මෙරට හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එක්සත් රාජධානියේ නවතම සම්බාධක පැනවීම් මානව හිමිකම් ගැන කාරණයක් නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවත්, මෙය යුක්තිසහගත නොවන බවයි ඔහු පවසා සිටින්නේ.

මෙය සමහර බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කිරීමේ වරප්‍රසාද භුක්ති විඳිමින්, අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක්කිරීමක් බවද සිය X පණිවිඩය මඟින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

මෙම සම්බාධක මගින් අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති බවද, එවැනි තවත් අර්බුදයක් ඇති වුවහොත්, හමුදාවන්ට සටන් කිරීමට ධෛර්යයක් නොමැති විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙසයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

news images

පොලිස්පති ධුරයෙන් දේශබන්දු ඉවත් කිරීමේ විශ්වාසභංග​ය කථානායකට බාර දෙයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රජය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 15ක සිර දඬුවම්

නව හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 75000/- ක දඩ මුදලක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර, එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2011 වසරේ සිදුවූ මෙම සිදුවීමට අදාළව 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුට මෙම දඬුවම් නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම නිසා, වසර මැද සහල් හිඟයක් ඇතිවිය හැකියි – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර

මෙම වසර මැද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මහ කන්නය යනු මෙරට සහල් අවශ්‍යතාවයෙන් 65%ක් සම්පූර්ණ කරගන්නා කන්නය බවත්, එම කන්නයේදී අපේක්ෂිත අස්වැන්න අඩු වනු ඇති බවට රජයට ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට ආරම්භවීමට ඇත්තේ යල කන්නය වන අතර, එහි අස්වැන්න ලැබීමට මාස 04 ක කාලයක් ගත වන බැවින්, වසර මැද මෙම සහල් හිඟය ඇතිවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

පවත්නා තත්ත්වය යටතේ ඉදිරියේදී සහල් මිල, පවතින පාලන මිල ද ඉක්මවා යනු ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පවතින ආනයන බදු අඩු කර සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙරට පළමු වරට රජයේ රෝහලක ශුක්‍ර ධාතු බැංකුවක් ස්ථාපිත කෙරේ

මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙනවා.

ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පුද්ගලයින් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු අතර අදාළ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව යළිත් මාස 3 කට පසු එම පරීක්ෂණවලටම ලක් කිරීමෙන් අනතුරුව සුදුසු පියවරුන්ගේ ශුක්‍ර ධාතු ලබා ගන්නා බවයි කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ.

මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වයද ආරක්ෂා කරන බවයි වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා.

මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්ට 0112678999 හා 0112672216 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.