උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් ‍වන්න – PHI සංගමය

උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එම ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ආහාරවල ස්වභාවය, පැහැය, ගන්ධය මෙන්ම ඇසුරුම් කළ ආහාරවල ලේබලයේ සඳහන් කරුණු පරික්‍ෂා කරන ලෙසයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

නීති කඩකර ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එලෙස නීති උල්ලංඝණය කරමින් ආහාර අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඇගයීම් මධ්‍යස්ථාන 1,066 ක් තුළදී එම කටයුතු ආරම්භ වන අතර අප්‍රේල් 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16,000 කට ආසන්න බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ අටකට අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොසින් 50%ක වට්ටම් මිලකට ආහාර පැකේජයක්

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.

ඒ අනුව, රුපියල් 5,000/- ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් 50%ක වට්ටමකට, එනම් රුපියල් 2,500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන අතර ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන් හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් (COOPFED) මගින් පැකේජය නිකුත් කිරීමට නියමිතයි.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි, පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,753 සඳහා මෙම විශේෂ වට්ටම හිමි වන අතර අප්‍රේල් 01 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

තායිලන්තයේ භූ කම්පනයෙන් ගොඩනැගිල්ලක් කඩා වැටී 43 ක් අතුරුදන්

තායිලන්තයේ සිදුවූ භූ කම්පනයෙන් බැංකොක් නුවර ගොඩැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 43 ක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චතුචක් උද්‍යානය අසල වූ එම ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් පනස් දෙනෙකු පමණ සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී හත් දෙනෙකු දිවි ගලවා ගත් අතර තවත් 43 දෙනෙකු තවමත් සිරවී සිටින බවයි වාර්තා වෙන්නේ.

මියන්මාරයේ කලාප හයක මේ වන වි‍ට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

news images

news images

news images

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බස් රථය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරු හා කොන්දොස්තර පමණක් සිට ඇති අතර, ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අනුරාධපුර වෛද්‍යවරිය විසින්​​ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුව හඳුනාගනියි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අතවරයට ලක්කළ සැකකරු අද (28) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත් නිල කාමරේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී එම වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු යළි මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, අප්‍රේල් මස 10 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

නඩු විභාගය අතරතුරදී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා අවස්ථාව පවතින බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

නිදහස ගෙන දුන් නායකයින් දඩයම් කරන විට, ආණ්ඩුව නොදැක්කා වගේ බලාගෙන ඉන්නවා – නාමල්

නිදහස ගෙන දුන් නායකයින් දඩයම් කිරීමට යන විට ආණ්ඩුව එය නොදැක්කා සේ බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ආණ්ඩුව සිදුකරන ‍ප්‍රකාශ දෙස බැලීමේදී, එය අපේ රටේ ආණ්ඩුව විසින් රටේ රණවිරුවන් වෙනුවෙන් සිදුකරන ප්‍රකාශයක් ද, නැතහොත් ජාත්‍යන්තර සංවිධාන වෙනුවෙන් කරන ප්‍රකාශයක් ද යන්න ගැටලු සහගත බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LTTE ඩයස්පෝරාව හරහා, යුද්ධය අවසන් කරන ලද රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසුවද, ඔවුන්ට මේ රටේ ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවත්, ජනතා ගැටලු විසඳිය නොහැකි බවත් ආණ්ඩුව මතක තබාගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

චාමර සම්පත් නැවත රිමාන්ඩ් කෙ​රේ

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නඩු තුනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (27) අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, නඩු දෙකකින් අද දවස තුළදීම ඔහුට ඇප හිමි වුවත්, එක නඩුවකට අදාළව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත්කර ගැනීමෙන්, රජයට රු. මිලියන 23 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද දිනය (27) සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය අදාළ වන අතර, එම ප්‍රදේශවලට තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්ත‍මේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සති අන්තය වෙනුවෙන් ‍හෙට සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමය හේතුවෙන් හෙට (28) සිට ලබන 31 වැනිදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images