මියන්මාර වැසියන්ට උදව් කිරීමට අප්‍රේල් 11 පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි මේ වන ප්‍රකාශ කළා.

එසේම  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවයි  මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 2,700 ඉක්මවා ඇති අතර තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත්ට බරපතළ වැඩසහිත වසර 16 ක සිර දඬුවම්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියුතු පිරිස් වෙත ජීවිත රක්ෂණයක් හඳුන්වාදෙයි

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම කර්මාන්තවල නියැලී සිටින කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදී මෙම හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000/- රුපියල්, 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල්ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබා දෙන බවද එම මණ්ඩලය සඳහන් කළා.

රක්ෂණ ආවරණය රුපියල් 2,000/-, 4,000/-, 8,000/- වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බොරැල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන් SF සරත්ට මරණ දණ්ඩනය

2014 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් ‘SF සරත්’ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (01) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් ‘දෙමටගොඩ චමින්ද’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

2014 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමැත්තකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

RMV සියලු සේවාවන් සඳහා අප්‍රේල් 15 සිට TIN අංකය අනිවාර්ය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 අප්‍රේල් මස 15 වන දින සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්ය කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මුල්‍යාධාරයක් ලබාදීමට පියවර

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරි ගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ හෝ තුවාල ලැබූ පුද්ගලයන් අයත් වන පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර, වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි වූ පවුලක දරුවන් හට ද මීට අයදුම් කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම වැඩසටහන මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහා ද ආදී වශයෙන් අද (01) සිට මෙම මූල්‍යාධාරය ලබා දීමට අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ටිරාන් අලස් CIDයෙන් පිටව යයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ‍තිබෙනවා.

ඒ අනුව අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු පැය පහකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස අද කැඳවා තිබුණා.

රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට ආරක්ෂක බලධාරින් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කළ නීතීඥවරියට ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කරයි

උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද අභියාචනාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණ ශාලාවට ඇතුළු වීමේදී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් එම නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය පසුගියදා නියෝග කර තිබුණා.

ටිරාන් අලස්ව හෙට CID යට කැඳවයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීමටම අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.