අල්ලස් ලබාගත් ලංගම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රිකුණාමලය – වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර, පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ අවස්ථාවකදී, මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොතිබීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා, ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර, නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස, ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා විසින් රුපියල් 100,000 මුදලක් ඉල්ලා ඇති බව පැවසෙනවා.

පසුව එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා ලවා එකී මුදල සැකකරු විසින් ඉල්ලා ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට රැගෙන එයි

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යාම සිදුකර තිබෙනවා.

දේහය රැගත් පෙරහැර ශාන්ත පීතර චතුරශ්‍රය හරහා ගමන් කරන විට, 20,000 කට අධික විශාල ජනතාවක් රැස්වී සිය ශෝකය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට මේ වන විට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ සඳහා වන වේලාවන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි වතිකානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ පිය පුතු දෙපළක් ගැන පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරයි

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අද (32) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ.

බන්දුල පියල් හා මාධව සුදර්ශන යන එම පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කටානේ වෙඩි තැබීමක්

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කිරීමේදී ඔහු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු මන්ත්‍රීවරයා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් අවුරුද්දට සුබ පතලා එවන SMS එක නතර කරලා රුපියල් ලක්ෂ 980 ක් ඉතුරු කළා – නිලන්ති කොට්ටහච්චි

නව වසරට සුබ පතා සෑම වසරකම ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවිඩය (SMS) එවීම මෙවර සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

ඒ හරහා රුපියල් ලක්ෂ 980 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණ බවත්, ජනතාවගෙන් ලබාගෙන ජනතාවටම SMS යැවූ යුගය වෙනස් කළ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

නායකයෙක් සිටිය යුත්තේ අවුරුද්දට SMS යැවීමට නොවන බවද, බදු ගෙවන ජනතාවට සාධාරණව ජීවත්විය හැකි ලෙස එය බිමේ වැඩ සඳහා යොදවනවා නම් නායකත්වය යනු එය බවද, ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා එම කටයුත්ත නිසි පරිදි සිදුකරන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පුද්ගලයෙකු​ට එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට මාසික​ව අවශ්‍ය අවම මුදල ප්‍රකාශයට පත් කරයි

නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,318 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

දිස්ත්‍රික්ක වශයෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දැරිය යුතු වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මුදල රු. 17,599 ක් වනවා.

එමෙන්ම එහි අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 ක් ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ දරිද්‍රතා රේඛාව පහතින්.

news images

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සිට සැකපිට අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා මුදාහරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති අතර, ඒ අනුව අදාළ සැකකරුවන් මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රනිල් අප්‍රේල් 25 වැනිද‍ා අල්ලස් කොමිසම හමුවට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 25 වැනිද‍ා පෙරවරු 9.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මර්වින් සිල්වා මැයි 05 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු මැයි 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩුවෙහි සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයෙකු වූ ප්‍රසන්න රණවීර තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බව ද නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා, එකී තීන්දුව ලබා දීමට එම සැකකරු විසින් අදාළ පාර්ශ්වයන්ගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී තීන්දුව ප්‍රකාශ කර, එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම යන අල්ලස් චෝදනා මත සැකකරු එම කොමිසමේ නිලධාරීන් විසින් අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.