නව අමාත්‍ය මණ්ඩලය තිදෙනෙකුට සීමාවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය අද (24) දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත්ගෙන් සමන්විත තිදෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යංශ තබාගෙන තිබෙනවා.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙසද දිවුරුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, විදේශ කටයුතු, මහජන ආරක්ෂක, පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අදාළ අමාත්‍යංශ ඇතුළත් නිවේදනය පහතින්.

66f2ba2126e39

අගමැතිනි හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශ හත​ක අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඇය මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දීය මහ කොමසාරිස් හමු වෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අදාළ හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

දෙරට අතර පවතින ද්වි-පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

අභිනව ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (23) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් බැහැදැක තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනුර ලැබූ ජයග්‍රහණයට සුබ පතනවා – එම්.ඒ. සුමන්තිරන්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

ඒ අනුව වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයෙන් තොරව ගනු ලැබූ මෙම ජයග්‍රහණය ආකර්ශනීය බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

66ef8a7cd9116

මෙතෙක් නිකුත් වූ නිල ප්‍රතිඵල අනුව 52% ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටිනවා.

මේ වන විට දිස්ත්‍රික්ක 21ක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 13ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව සමස්ත ප්‍රතිඵලය පහතින්.

* අනුර කුමාර දිසානායක – 727,758 – 52.00%

* සජිත් ප්‍රේමදාස – 333,934 – 23.86%

* රනිල් වික්‍රමසිංහ – 235,673 – 16.84%

* නාමල් රාජපක්ෂ – 41,104 – 2.94%

සියලු නිල ඡන්ද ප්‍රතිඵල ඔබට නිකුත් වූ සැණින් හෙළකුරු ජනවරම ඩිජිටල් මැතිවරණ විකාශය ඔස්සේ දැනගැනීමේ හැකියාව පවතිනවා.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යාම ආරම්භ කෙරේ

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය කිරීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

සවස 4.00 ට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද සවස අවසන් වුණා.

ඒ අනුව අද සවස 4.00 වන සිට දිවයින පුරා පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන් පහතින්.

* නුවරඑළිය – 80%

* මොනරාගල – 77%

* පොළොන්නරුව – 78%

* රත්නපුරය – 75%

* දිගාමඩුල්ල – 70%

* ගම්පහ – 80%

* කොළඹ – 75%

* අම්පාර – 70%

* කිලිනොච්චිය – 68%

* පුත්තලම – 75%

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නවත්වයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිරාකරණය කරගන්නා තුරු සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර කොළඹ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.