පොඩි ලැසීගේ ඥාතියෙක් අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසීගේ සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වෙන්නේ.

46 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද සාකච්ඡාවක්

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

සනත් ජයසූරියගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි සඳහා සඳහා පත්කර තිබුණා.

O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කිරීමට කටයතු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාසල්වල සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාළමින් චක්‍රලේඛයක්

පාසල්වල පැවැත්වෙන සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් නොකළ යුතු බව දන්වමින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධාකාරයේ සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් ගැන අමාත්‍යංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එවැනි මුදල් එක්රැස්කිරීමේ හේතුවෙන් සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන හෙයින් එවැනි මුදල් එකතු කිරීම නොකළ යුතු බවයි අමාත්‍යංශ ලේකම්වරිය අවධාරණය කර ඇත්තේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුව විමර්ශනයට අගමැතිනිය ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කරයි

5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනය කිරීම සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අද (28) විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

අදාළ කමිටුව දින දෙකක් ඇතුළත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර, ළමුන්ට අසාධාරණයක් නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිනියට නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල මූලික වාර්තාවක් අමාත්‍යංශයට ලැබී ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් ක්‍රියාත්මක බවද ඇය සඳහන් කළා.

ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක විසින් අද (27)  ජනාධිපති කාර්යාලයේදී ඔහුට ලබාදී තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක නොකැලැල් සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා තනතුරු රැසක් හොබවා තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු ලෙසද දිවුරුම් දී ඇති ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක්ද ලබා තිබෙන බවයි සඳහන් වන්නේ.

නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙසද ඔහු එක්ව ඇති අතර ඔහුගේ වසර 36 ක රාජකාරි කාලසීමාව තුළ පොලිස්පතිවරුන් දසදෙනකුගෙන් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපිද ලබා ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවයි

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසනවා.

හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් නැවත කැඳවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ආගමන හා විගමන පාලක හර්​ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේක​ර පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර පත්කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතිත් නව සභාපතිවරයා අද උදෑසන සිය පත්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කළා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කර තිබෙනවා.