වසා දැමූ ජපුර සරසවිය යළි සැප්තැම්බර් 24 යළි විවෘත වෙයි

තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කෙහෙළියගේ පුතා​ට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80 ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ට පොලීසියෙන් දැනුම්දීමක්

ඡන්දය පැවැත්වෙන දිනයේදී සිය ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශයට පැමිණෙන පුද්ගලයින් වාහනයකින් පැමිණෙන්නේ නම්, එය මධ්‍යස්ථානයට බාධාවක් නොවන පරිදි ගාල් කර තබා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ලෙසත්, ආබාධිත පුද්ගලයින් රැගෙන එන, කළින් අවසර ලබාගත් වාහනවලට පමණක් ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇඳගෙන පැමිණෙන ඇඳුම්වල හෝ බෑග්වල නොදැනුවත්ව හෝ තියුණු ආයුධ කොටස් තිබිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී පැමිණීමෙන් අපහසුතාවයන්ට පත්වීමෙන් වැළකීමට හැකි බවද ඔහු සඳහන් කළා.

අධික ලෙස මත්පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථානවලට නොපැමිණෙන ලෙසත්, එසේම ඡංගම දුරකථන ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බවත්, යම් හෙයකින් වීඩියෝ ගත කිරීමක් හෝ ඡායාරූප ගත කිරීමක් සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අභාවප්‍රාප්ත ජනපති අපේක්ෂක ඉල්ලියාස් වෙනුවෙන් සලකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේපයි

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසනවා.

අයිඩෘස් මොහමදු ඉල්යාස් මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන්නද, එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස්ගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසමයි වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ නිවේදනය පහතින්

66ea8f181bada

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විභාග දෙපාර්තමේන්තුව අසළ විරෝධතාවක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වනවා.

ඒ අනුව දෙමව්පියන් ඉල්ලා සිටින්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාවද ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන් වෙයි

ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන පුද්ගලයන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බිනර පුර පසළොස්වක පොහොය දිනය අද

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්ව තිබෙනවා.

එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබනවා.

බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබෙනවා.

කෝටි දෙකක දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව එම ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකුද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ

ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ දුම්වැටි 120,400ක් අඩංගු දුම්වැටි කාටූන් 602ක් සඟවා ගෙන පැමිණ සිටියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2023 දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2024 දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මිල කටයුතු 1.7%කින්ද, කර්මාන්ත ආර්ථික කටයුතු 10.9%කින්ද, සේවා ආර්ථික කටයුතු 2.5%කින්ද ධන වර්ධනයන් වාර්තා කර ඇති බව අදාළ කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

රුපියල් කෝටි පහක කේරල ගංජා තොගයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට

රාජාංගනය යාය 14 ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කවර 94ක බහා තිබු කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කලාඔය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කේරල ගංජා තොගය හා සැකකරු රාජාංගනය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.