ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක් – ජනපති අනුර

රටේ ජනතාවගේ අපේක්ෂාවත් තම අපේක්ෂාවත් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට පළමුවරට රටේ පුරවැසියන්ගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු හා රටේ පාලකයාගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු එකම වන පාලනයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එබැවින් රටේ ජනතාව අපේක්ෂා කරන පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම තමන්ගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද, ඒ සඳහා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

එබැවින් තමන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසයි අද කටුවාපිටිය දේවස්ථානයේදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට කටුවාපිටියෙදී ජනපතිගෙන් සහතිකයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර තිබෙනවා.

අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අද (05) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී සුබ පැතුම් එක්කර තිබෙනවා.

රටේ ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දීම ගැන එම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය සඳහා පවතින ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දී ඇති අතර, එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වන සූදානම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති අනුරට සංචාරයක් සඳහා ඇරයුම්

නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් විසින් ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායකට පිළිගන්වා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුබ පැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජනය, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා සහායවීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳව කරුණු පැහැදිළි කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට සිය ආර්ථික පුනරුදය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවද ඔහු අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීමේ ගැටලුවක් නැහැ – අමාත්‍යංශ ලේකම්

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසනවා.

රුපියල් 15,000 ක් කලින් ලබාදී මැතිවරණයෙන් පසුව රුපියල් 10,000 ක් ලබාදෙන ආකාරයක් සකස් කිරීමට හැකියාව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළ පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩිකිරීම් මැතිවරණයෙන් පසුව ලබාදීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර පත්කර තිබෙනවා.

ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66fe6a31988f7pdf_page_0

අමද්‍යප දිනය හේතුවෙන් හෙට සිය​ළු සුරාසැල් වැසේ

හෙට (03) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.

ලෝක අමද්‍යප දිනය හෙට දිනයේ යෙදීම නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66fd28704e781

අද ඩොලරයේ විකුණුම් මිල රු. 299 දක්වා පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් වනවා.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

66fd16ba26400

පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මූලික පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා – කැබිනට් ප්‍රකාශක

කඩිනමින් ආරම්භ කළ යුතු පරීක්ෂණ කිහිපයක් මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවයි අද (01) කැබිනට් තීරණ දැනුම්දීටම් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු 4.24% කින් අඩු කර ඇති අතර නව බස් ගාස්තුද ප්‍රකාශයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ බස් ගාස්තු පහතින්.

66fbc5a1da3f7