චීනයේ සිදුවූ වාහ​න අනතුරකින් පුද්ගලයින් 35 ක් මරුට

චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත වාහනයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 43 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අනතුර සිදුකළ රියදුරු මේවන විට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් ඒ හේතුවෙන් පොලිසියට අනතුර පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සුජීව සේනසිංහගේ V8 රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ සතුව තිබූ V8 රථය අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ඒ අනුව එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදුකිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ.

ප්‍රශ්නගත ජීප් රථය 2010 වසරේ මෙරටට ගෙන්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ ශ්‍රී රංගාට ලැබුණු තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන් බවත් පසුව මෝටර් රථය ලියාපදිංචි කිරීමෙන් තොරව භාවිතා කිරීමෙන් අනතුරුව අදාළ වාහනය 2011 මාර්තු 30 වනදා සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඉන් පසු 2022 වසරේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නමින් අදාළ වාහනය ලියාපදිංචි කර ඇති බවත් ප්‍රශ්නගත ජීප් රථය කැලණිය ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ ස්ථානයකට යොමුකර කොටස් කිහිපයක් එකලස් කිරීම සිදුකර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අදාළ සුඛෝපභෝගී මෝටර් රථය අධිකරණය භාරයට පත්කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අම්බලංගොඩල ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ එම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බවය.

රුපියල් කෝටි හතරක කුෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්තයේ සිට මෙරටට පැමිණි 58 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.
ඔහුගේ අත්බෑගයේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න තොගයක් මෙහිදී සොයාගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශය වෙත භාරදුන් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අමෙරිකානු වේලාවෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතුයි – ජනපති

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

672a02625251bpdf_page_1 672a02602f1c1pdf_page_0

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, ⁠මාවනැල්ල, බුලත්කොහුපිටිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, ⁠කුරුවිට,⁠ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘අවදානයෙන් සිටින්න’ යන දැනුම්දීම සිදුකර තිබෙනවා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ⁠යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොල, ⁠යටියන්තොට,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ⁠අකුරැස්ස, ⁠පස්ගොඩ සඳහාද මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ⁠අයගම, ⁠බලංගොඩ, ⁠ඉඹුල්පෙ, ⁠ඕපනායක, ⁠කිරිඇල්ල, ⁠කලවාන, ⁠කහවත්ත, ⁠ඇලපාත, ⁠⁠ගොඩකවෙල, ⁠පැල්මඩුල්ල යන ප්‍රාදේශ ලේකම් කොට්ඨාස සඳහා ‘විමසිලිමත් වන්න’ ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකියි – නිලූෂා බාලසූරිය

යම් අයෙකුට හදිසියේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා අදාළ කාරණය සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය පවසනවා.

ඒ අනුව ඒ සඳහා කටයුතු කිරීමට ස්වාධින කමිටුවක්ද ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති බවයි අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

ව්‍යාජ ලේඛන, කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඊයේ (02) ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඔහු ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා නියෝග කෙරුණා.

මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයට නිවාඩු ලබාදීම ගැන දැනුම්දීමක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6726e1638bc7fpdf_page_1 6726e16365cc0pdf_page_0