ලොහාන් සහ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දෙසැම්බර් 02 වනදා දක්වා හා ඔහුගේ බිරිඳ එළඹෙන නොවැම්බර් 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ් අනුව ඔවුන් අද (18) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නාම ලේඛණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක වෙත එම නාම ලේඛණය යොමුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ජාතික ලැයිස්තුව පහතින්.

01.  බිමල් රත්නායක:

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.

02. ආචාර්ය අනුර කරුණාතිලක:

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

03. මහාචාර්ය උපාලි පන්නිලගේ:

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

04. එරංග උදේශ් වීරරත්න:

සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

05. අරුණ ජයසේකර:

විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී.

06.  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම:

සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික.

07. ජනිත රුවන් කොඩිතුවක්කු:

නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික.

08. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි:

ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික.

09. රාමලිංගම් චන්ද්‍රසේකර්:

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක.

10. වෛද්‍ය නජිත් ඉන්දික:

සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු.

11. සුගත් තිලකරත්න:

ඔලිම්පික් ක්‍රීඩක

12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර:

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික.

13. සුනිල් කුමාර ගමගේ:

වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති.

14. ගාමිණී රත්නායක:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු.

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ:

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති.

16. සුගත් වසන්ත ද සිල්වා:

සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති.

17.  අබුබකර් ආදම්බාවා:

දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක, රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්.

18. ආර්. එච්. උපාලි සමරසිංහ:

වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක, ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක.

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම නොවැම්බර් 21 පාර්ලිමේන්තුවේදී

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, නොවැම්බර් 21 වන දින සවස 3.00ට, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

නව ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහිදී පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ – ජාතික ජන බලවේගය

නව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

ඒ පිළිබඳව සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක​ට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි

මෙවර මහ මැතිවරණයෙන් කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබෙනවා.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන, කංචන විජේසේකර, උදය ගම්මන්පිල, රංජන් රාමනායක, ප්‍රසන්න රණවීර, දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ යන හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබෙනවා.

එසේම සංජීව එදිරිමාන්න, දුමින්ද දිසානායක, එස්.සී මුතුකුමාරණ, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, නිපුන රණවක, ශෂින්ද්‍ර රාජපක්ෂ, ප්‍රමිත බණ්ඩාර, රෝහණ බණ්ඩාර, සාරථී දුෂ්මන්ත, අසංක නවරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත්, පවිත්‍රා වන්නිආරච්චිට ද පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු තවත් බොහෝ පිරිසකට මෙලෙස පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි – ජනපති

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව “පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි” බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක එහි සඳහන් කර තිබෙන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

6736f44615997

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් Elon Musk ට නව තනතුරක්

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Elon Musk ට  නව තනතුරක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා “Department of Government Efficiency” යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස Elon Musk ව පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුට අමතරව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයෙකු වූ Vivek Ramaswamy ද මේ සඳහා පත්කර තිබෙනවා.

ඒ අනුව මහා පරිමාණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයවන්නේ කෙසේද යන්න පිළිබඳව ධවල මන්දිරයට බාහිර උපදෙස් ලබාදීම මෙහි අරමුණ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

පුස්සැල්ලාව – මෙල්ෆට්වත්ත ප්‍රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවූ ඹබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (12) සවස මෙම බඹර ප්‍රහාරය සිදුව ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බරපතළ තත්ත්වයේ සිටින එක් පුද්ගලයෙකු ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, අනෙක් පුද්ගලයන් 04 දෙනා ප්‍රතිකාර ලබා නිවසට පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් මරුට

පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

පුද්ගලයින් පස්දෙනෙක් අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර අනෙක් පුද්ගලයන් තිදෙනාද බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (11) රාත්‍රියේ මිතුරෙකු විසින් රැගෙන ආ අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ මත්පැන් වර්ගය කුමක්දැයි මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.