මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමක වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.

අදාළ පෙත්සම ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින් ඉදිරිපත් කර තිබූ අතර, එය අද ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව විරෝධතා පවතී නම් සති හතරක් තුළ ගොනු කරන ලෙස වග උත්තරකාර රනිල් වික්‍රමසිංහට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගය සඳහා ලබන මාර්තු මස 10 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

ආණ්ඩුවෙන් පසු ඊළඟට බලය ලබාගැනීමට හැකි බලවේගය සමගි ජන බලවේගය – හෙක්ටර් අප්පුහාමි

ආණ්ඩුවෙන් පසු ඊළඟට බලය ලබාගැනීමට හැකි බලවේගය සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.

ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් සියලු දෙනා සමඟ සාකච්ඡා කර නියමිත වේලාවට තීන්දුව ලබාදෙනු ඇති බවයි අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව වේදිකාවල ප්‍රකාශ කළ දෑ සහ අද කරමින් සිටින දේ පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

IPL ඉතිහාස​යේ අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙ​ස 13 වියැති Suryavanshi පත්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වෙන්දේසියකදී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට ඉන්දියාවේ Vaibhav Suryavanshi සමත්වී තිබෙනවා.

වමත් මුල්පෙල පිතිකරුවෙකු වන ඔහු මේ වන විට 13 වන වියේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.10 ක මුදලකට Rajasthan Royals කණ්ඩායම විසින් මිලදී ගැනීමට සමත් වී තිබෙනවා.

Suryavanshi මේ වන විටත් ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ද නියෝජනය කර ඇති අතර, ඔහු එහිදි ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහීදී මීට මාස දෙකකට පමණ පෙර පැවැති සිව්දින තරගයකදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ශතකයක් ද වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයක්.

ඉන්දීය අගමැති හා මා ඇති කරගත් එකඟතා, වත්මන් රජයද ඉදිරියට ගෙන යා යුතුයි – රනිල්

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා තමන් ඇති කරගත් එකඟතා වත්මන් රජය ද ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව දෙරට අතර සහයෝගීතාව ඇති කරගන්නා කලාප සම්බන්ධයෙන් එකඟතාවයට තමන් පැමිණ තිබූ බවයි ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම එකඟතා ඉදිරියට පත්වාගෙන ගොස් ඒවා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

E8 වීසා ක්‍රමය හිටපු අමාත්‍යවරයෙක් විසින් නිසි අනුමැතියකින් තොරව අත්සන් කරන ලද ගිවිසුමක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශ​ය

E8 වීසා ක්‍රමය හිටපු අමාත්‍යවරයෙක් විසින් නිසි අනුමැතියකින් තොරව අත්සන් කරන ලද ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අනුමැතිය ලබාගත යුතුව තිබූ බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එවැනි කිසිවක් සිදු කිරීමකින් තොරව බාහිර කණ්ඩායම් යොදා පුහුණු කර යැවීමට පටන්ගෙන තිබූ බවත්, මෙය නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියෙකු පත් කරමින් ගැසට් නිවේදනයක්

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය R.M.U.S.K රත්නායක පත් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කර තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට එරෙහිව පසුගියදා සිට දැඩි විරෝධයක් එල්ලවී තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

67432743609d0pdf_page_0

E8 වීසා ක්‍රමය ඔස්සේ දකුණු කොරියාවට යාමට ඇති අවස්ථාව අහිමි නොකරන ඉල්ලා කොළඹදී විරෝධතාවක්

E8 වීසා ක්‍රමය ඔස්සේ දකුණු කොරියාවට යාමට ඇති අවස්ථාව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් වැළැක්වීමට කටයුතු කරමින් සිටින බව රැකියා අපේක්ෂිත තරුණයින් පවසනවා.

ඒ අනුව ඔවුන් අද (23) කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට මීට එරෙහිව විරෝධතාවයක්ද ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

E8 ක්‍රමය යටතේ දකුණු කොරියාවට 107 ක් සඳහා වීසා ලැබී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රියා කලාපය හරහා එම වීසා අත්හිටුවීමේ අවධානමක් තිබෙන බවද ඔවුන් චෝදනා කර සිටිනවා.

නවක මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම අංක 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දෙමළ ඊළම පිළිබඳව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එම මන්ත්‍රීවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව, දේශද්‍රෝහී වීමේ අපරාධය සිදුකළ බව පවසමින් මෙම පැමිණිල්ල ගොනුකළ බවයි නීතිඥ ලලිත් විජේසුරේන්ද්‍ර මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

නව පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියේදී මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අසුන් වෙන් කර නොතිබූ නිසා මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන් ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර එහිදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් විපක්ෂ නායකවරයාට හිමි අසුනේ වාඩි වී, එය වීඩියෝගත කරමින්, ආන්දෝලනාත්මක ලෙස හැසිරී තිබුණා.

නව රජයට සහ ජනපති අනුර කුමාර දිසානායකට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙනවා – ජපාන තානාපති

ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

එහිදී ජපාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කර ඇති අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ජපානය අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳවද තානාපතිවරයා විසින් ජපාන රජයේ ප්‍රශංසාව පළ කර ඇති අතර, ශ්‍රී ලංකා නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව ද එහිදී සඳහන් කර තිබෙනවා.

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 ක් දිවුරුම් දෙයි

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු අද (21) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඔවුන් දිවුරුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්.