රටේ නායකයා ධාර්මික නොවන නිසා මේ රටට දේව ශාපයක් උදා වෙලාද කියලා සැකයි – නලින් බණ්ඩාර

මේ ආණ්ඩුව පටන් ගත්තේම ජයමංගල ගාථා පවා අවලංගු කර, රටේ සම්ප්‍රදායන්ට පවා ගරු නොකර, විකෘති පාර්ලිමේන්තුවක් ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ආණ්ඩුව බහිරවයන් අල්ලන් ඉන්නා නිධන් හාරන බවත්, රජතුමා දැහැමින් සිටියහොත් කළට වේලාවට වැසි ලැබෙන බවට කථාවක් පවා ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ජයමංගල ගාථා කියන්නේ ආශිර්වාද ලබා ගැනීමට බවත්, රටේ නායකයා ධාර්මික නොවන නිසා මේ රටට දේව ශාපයක් උදා වී ඇත්දැයි තමන්ට බරපතළ සැකයක් ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

ගංවතුර බැස යාමත් සමඟ ඩෙංගු ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 19,487 ක්.

ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 22 ක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජලයෙන් යටවූ වගාබිම් වල හානි තක්සේරු කිරීම හෙට ආරම්භ වෙයි

අධික වැසි හේතුවෙන්, වගාබිම් අක්කර 390,000 ක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ජලයෙන් යටවූ වගාබිම් වල හානි තක්සේරු කිරීම හෙට (02) ආරම්භ කරන බවයි එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එම කටයුතු ආරම්භ කරන බවත් වැඩිම වගාබිම් ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත්තේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල බවයි ඔහු සඳහන් කළේ.

සමස්තයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවිබිම් රැසක් ජලයෙන් යටවී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ හා යාපනය ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

යාපනය හා කොළඹ නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත්, නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු ගුණාත්මක දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි එම සංවිධානය සඳහන් කළේ.

සාමාන්‍යයෙන් වායු දර්ශක අගය 50ට අඩුවෙන් පැවතිය යුතු නමුත්, යාපනය දිස්ත්‍රික්කයේ වායු ගුණ තත්ත්ව දර්ශක අගය 130ක් ලෙසින් ද, කොළඹ නගරයේ වායු ගුණ තත්ත්ව දර්ශක අගය 120ක් ලෙසින් ද සටහන් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියා.

මෙම තත්ත්වය හමුවේ ස්වසන අපහසුතා පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය අජිත් ගුණවර්ධන මහජනතාවට දැනුම් දෙනු ලබනවා.

ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ ජලයෙන් යටවෙයි

වර්ෂාධික කාලගුණික තත්ත්වය නිසා ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

අදාළ ගොවිබිම්වලින් ජලය බැස යාමෙන් පසු, ඊට අදාළ වගා හානිය තක්සේරු කරන බවයි එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි පවසා සිටියේ

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව කළ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 ක් අත්අඩංගුවට

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු මෙරට ධජය සහිත බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව එහි සිටි පිරිසක් ද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉදිරි නීතිමය කටයුතු සදහා ඔවුන් මෙරට බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අධික වැස්සෙන් වැව් අමුණු 130කට හානි සිදුවෙයි

අධික වර්ෂාවත් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව් අමුණු 130කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ පවසනවා.

ඒ අනුව වැව් අමුණු වැඩිම සංඛ්‍යාවක් හානි වී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික්කයේ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ට්‍රැක්ටර් අනතුරෙන් ළමුන් දෙදෙනෙක් තවදුරටත් අතුරුදන්, රිය සහායක අත්අඩංගුවට

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර මෙම ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබෙනවා.

ඔහු ගංවතුර තත්ත්වය අතරතුර, ආරක්ෂක අංශ උපදෙස් නොතකමින්, මුදල් ලබාගෙන, අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පොහොර සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරනවා – නාමල් කරුණාරත්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව රුපියල් මිලියන 20,000 ක් ඒ සඳහා වෙන්කර ඇති බවයි අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ආපදා තත්ත්වයන්ට පත්ව ඇති ගොවීන්ට අමතරව, වැව් අමුණු රැසක් සමග අක්කර 8,000 කට පමණ හානි සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

පූර්ණ සහ අර්ධ හානි සිදුව තිබෙන ගොවීන්ට සහාය වීමට රජය සුදානම් බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අරගලයට පහරදීමේ සිදුවීම​ට ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ගාලු මුවදොර පැවති මහජන අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නොමැති අතර, ඔවුන් විදෙස්ගතව ඇති බවයි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර ඇති අතර අදාළ නඩු විභාගය ලබන මාර්තු 26 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර තිබෙනවා.