සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නවා – වෙළඳ ඇමති

සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

නාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස්  ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුදී ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන්  සමඟ  ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදාළ සහල් මිල ගණන් සහ නිවේදනය පහතින්.

* නාඩු සහල් 1kg – තොග මිල රුපියල් 225 යි, සිල්ලර මිල රුපියල් 230 යි

* සුදු කුකුළු සහල් 1kg – තොග මිල රුපියල් 215 යි, සිල්ලර මිල රුපියල් 220 යි

* ආනයනික නාඩු සහල් 1kg – සිල්ලර මිල රුපියල් 220 යි.

* සම්බා සහල් 1kg – තොග මිල රුපියල් 235 යි, සිල්ලර මිල රුපියල් 240 යි

* කීරි සම්බා සහල් 1kg – තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260 යි

6754628a49044pdf_page_1 6754628a0f9bcpdf_page_0

පුරප්පාඩු වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි නම් කරමින් ගැසට් නිවේදනයක්

පුරප්පාඩු වී පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි යන අය නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමෙන් එහි සභාපති ධුරයට පත්වූ ජාතික ජන බලවේගයේ නිශාන්ත පෙරේරා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අතර, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ධුරය පුරප්පාඩු වුනා.

පුරප්පාඩු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය සඳහා නාගරාජා සාරා විනෝදනී නම් කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරීවරයා විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

JVP නිකරුණේ මැරුව හැම කෙනෙක්ටම ලක්ෂ 50 ක වන්දියක් දෙන්න – දිලිප් වෙදාරච්චි

ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකරුණේ මරා දැමූ සියලු දෙනා වෙනුවෙන් වන්දි මුදලක් ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චි පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ පවුල්වලට ලක්ෂ 50 ක වන්දි මුදලක් ලබාදෙන ලෙසයි අද (06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එයට පිළිතුරු ලබාදුන් අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ, එවක පැවති ආණ්ඩුව විසින් සිදුකළ එම ඝාතන සිදුවීම් පරීක්ෂණයක් සිදු කරන බවයි.

ජනවාරි 01 සිට අවුරුදු 12 ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදාගැනීම තහනම් කරනවා – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12 ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පවසනවා.

ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට යොදා ඇති බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය රජයයන් විසින් වසර කිහිපයක් තිස්සේ මෙය කල් දමමින් සිටි බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අධික කුලියක් ගෙවමින් පවත්වාගෙන යන රජයේ ආයතන, රජයට අයත් ගොඩනැගිලිවලට ගෙන එනවා – සුනිල් හඳුන්නෙත්ති

අධික මාසික කුලියක් ගෙවමින් වෙනත් ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන, රජයට අයත් ගොඩනැගිලිවලට රැගෙන ඒමට තීරණය කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

බොහෝ අමාත්‍යාංශවල ආයතන කුලී පදනම මත පවත්වා ගෙන යන බවද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසික කුලිය මිලියන 05 ක් වන බවද, වෙළෙඳ අමාත්‍යංශයේ මාසික කුලිය ලක්ෂ 65 ක්ද වන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

අතුරු සම්මත ගිණුමෙන් වෙන්කරන මුදල් සියල්ලම වියදම් නොකරන බවත්, අවදානම වෙනුවෙන් එසේ වෙන්කර තබන බවත්, එසේම ඉතිරිවන සියලු මුදල් නැවත භාණ්ඩාගාරයට එවීමට කැබිනට් මණ්ඩලය ලෙස තීරණයක් ද ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබාදීම මින් ඉදිරියට සිදුවන්නේ නැහැ – ජනපති

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද (05) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත්, රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබාදෙන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

6751865de5be3pdf_page_0

නීතිවිරෝධී මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ කැසිනෝ ශාලාවක් වටලයි

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව, නීතිවිරෝධී මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

අදාළ ස්ථානයට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍රය මඟින් පවත්වාගෙන යා හැක්කේ එක් මත්පැන් කවුන්ටරයක් පමණක් බවත්, නමුත් මහල් පහක් ඇති එම කැසිනෝ ශාලාවේ සෑම මහලකම පිහිටි කවුන්ටර මඟින් එහි පැමිණෙන සාමාජිකයන්ට නොමිලේ මත්පැන් ලබාදෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි තිබී තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් බෝතල් 100ක් ද සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවයි පැවසෙන්නේ.

මෙන්ඩිස් සමාගම ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කරනු ලැබුවා.

ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම්, තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින්, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර තිබෙනවා.

තම සේවාදායකයා ගෙවීමට ඇති රුපියල් බිලියන 5.3ක හිඟ සුරාබදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්, මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12 කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල්වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එයට දැඩිව විරුද්ධ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය හිඟ බදු පැහැර හැරි මත්පැන් සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බවත්, ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ අනුව, මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින්, එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සටහන් කළේ.

ආප්ප බානවා වගේ, බිත්තර රොටි හදනවා වගේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න බැහැ – නලින් හේවගේ

තම ආණ්ඩුව මේ වනවිටත් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් කප්පාදු කරමින් සිටින බවත්, පෙරදී ඇමතිවරු විසින් කෝටි ප්‍රකෝටි ගණන්වල නිල නිවාස ලබාගත් නමුත් දැන් එසේ නොවන බවත්,මින් පෙර ජනාධිපති මන්දිර කිහිපයක් භාවිතා කළ නමුත් දැන් එලෙස භාවිතා නොකරන බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසනවා.

එසේම වාහන බොහෝ ප්‍රමාණයක් භාවිතා කළ බවද, තමන්ගේ ඥාතීන් තානාපති සේවාවන්ට යොදා ගත් නමුත් දැන් ඒ කිසිවක් සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සමහර දේවල් සඳහා ඔවුන් ව්‍යවස්ථාවෙන්ම ඒ බලතල සාදා ගෙන ඇති බවත්, විශේෂයෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ දීමනා කප්පාදු කිරීමට නොහැකි බවත්, ඒවා ව්‍යවස්ථාවෙන් ඇති කරගත් දේවල් බවයි ඔහු සඳහන් කළේ.

තමන්ගේ ජාතික ලැයිස්තුව පවා පත් කර ගැනීමට බැරි තරමේ දුබලතාවයකින් පෙළෙන බෙළහීන විපක්ෂය විසින් ඉතා කුඩා කාරණා පවා කුමක් හෝ කියා සමාජගත කිරීමට සැරසෙන බව ද ඔහු කියා සිටියා.

ව්‍යවස්ථාවේ සංශෝධන ගැන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසුවේ ‘එක දවසකින් ආප්ප බානවා වගේ, එහෙම නැත්නම් බිත්තර රොටි හදනවා වගේ එහෙම මේවා හදන්න බැහැ’ යන්නයි.

එම නිසා ඒවාට සුළු කාලයක් ගත වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.