ඉතිහාසයේ පළමු වතාවට කිරිබතක් සෑදීමකින් තොරව නව වසරක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව අවස්ථාව උදාකරලා – සාගර කාරියවසම්

ඉතිහාසයේ පළමු වතාවට කිරිබතක් සෑදීමකින් තොරව නව වසරක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව අවස්ථාව උදාකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

2024 වසර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදුන් වසරක් බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම 2024 වසර ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර ලෙසද ඉතිහාසගත වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දැන් ආණ්ඩුවට දින 100 ට වැඩියි, මේක ලාබාල ආණ්ඩුවක් නෙවෙයි – ජනක වක්කුඹුර

ජනතාවට අසත්‍ය පවසා බලය ලබාගත් පසු ඔවුන්ට එය කිරීමට නොහැකි බව ජාතික ජන බලවේග ආණ්ඩුවට තේරුම් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර පවසනවා.

ප්‍රාදේශීය සභාවක් කිරීමට නොහැකි පිරිසකට රටක් කිරීමට නොහැකි බවට මීට පෙර තමන් ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුවට දින 100 කට වැඩි බවත්, දැන් මෙම ආණ්ඩුව ලාබාල ආණ්ඩුවක් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගනියි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස 122ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ Muan ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Jeju ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ Muan ගුවන්තොටුපොළ බලා අද අලුයම ගමන් කර තිබුණා.

යානය Muan ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්ව ඇති අතර අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ හට ලබන ජනවාරි 03 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාවලට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබෙන්නේ.

එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කරනු ලැබුවා.

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් පැය 04 ක කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි සඳහන් වන්නේ.

මීට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබුණු අතර, ඔහු එම අවස්ථාවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් හා කුළුබඩු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

භාවිතා කරන ලද පොල්තෙල් පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම මිරිස් කුඩු, කරපිංචා, කහ ඇතුළු කුළුබඩු වර්ගයන් ද විවිධ ද්‍රව්‍ය කලවම් කර මහජනතාවට අලෙවි කරන බවට වාර්තා වී ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමීර මුතුකුඩ සඳහන් කළේ.

උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රමිතින් සපුරාලීම සහතික කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙසැම්බර් 01 වැනිදා සිට වැටලීම් ආරම්භ කළ අතර, එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසල් 5000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, වෙළෙඳසල් 450කට නඩු පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද ආරම්භ කෙරේ

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (27) ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරෙන බව එම කොමිසම සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවේ ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනිදා සිදු  කිරීමට නියමිත බවයි.

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 92 වැනි වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

අස්වැසුම හිඟ මුදල් ගෙවීම හෙට සිට ආරම්භ කෙරේ

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ.

රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.

අප්‍රේල් මාසයට පෙර පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක් හඳුන්වාදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ්පත හඳුන්වාදීමට නියමිත අතර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.