යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත්කෙරේ‍.

ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙනවා.

ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක් වනවා‍.

මාතලේ ප්‍රදේශයේදී උපත ලද ඔහු, මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, 1989 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී තිබෙනවා.

සීනී කර්මාන්ත ශාලා ආශ්‍රිතව නව ව්‍ය‍ාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට අවධානය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලාවන් හි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.

කාබනික පොහොර නිෂ්පාදනය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවුනු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත්, සීනි නිෂ්පාදනය බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත් මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඑලය වන එතනෝල් යොදාගනිමින් නිශ්පාදනය කළ හැකි මිල අඩු සහ ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයා බලනු ලැබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සිරකරුවන්ට දම්වැල් දමා සතුන් මෙන් අධිකරණයට ගෙන නොඑන ලෙ​ස බන්ධනාගාර අධිකාරිය​ට නියෝග

සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බන්ධනාගාර අධිකාරියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව දිගු යකඩ දම්වැලක මාංචු දමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බවත්, මින් ඉදිරියට එලෙස සතුන්ට මෙන් නොසලකන ලෙසටත් බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු, අංක 03 අධිකරණයේ කැඳවූ අතර, රිමාන්ඩ් දීර්ඝය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබුණු බවයි සඳහන් වන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයේ වී මෝල් සහ ගබඩා පරික්ෂා කෙරේ

රටේ පවතින සහල් හිඟය හේතුකොට ගෙන අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීම සඳහා වී මෝල් සහ ගබඩා පරික්ෂාව සිදුකර තිබෙනවා.

මෙහිදී අම්පාර, සමන්තුරේ, කල්මුණේ සහ අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කෙරුණු බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙම පරික්ෂා කිරීමේ කටයුතු සදහා අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න, ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් රාජ්‍ය සේවය තුළ බරපතළ ගැටලුවක් තියෙනවා – කම්කරු ඇමති

සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් රාජ්‍ය සේවය තුළ බරපතළ ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව නිවැරදි දත්ත තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළා.

ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනයට හෙට සිට ටෙන්ඩර් කැඳවයි

ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනය කිරීම සඳහා රජය හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදියර 02 ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000 ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000 ක් ආනයනය කරන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව පළමු අදියර යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000 ක් ආනයනය කිරීම සඳහා හෙට දිනයේ ටෙන්ඩර් විවෘත කරන බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස ආනයනය කෙරෙන ලුණු, කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත්, සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා නොදෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දීමට e-Traffic නමින් App එකක් හඳුන්වා දෙයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607 ක රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අතර, දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබාගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2025 වසරේදී ගුවන්ගතවූ ගුවන් යානයක් 2024 වස​රේදී ගොඩබස්වයි

මගී ගුවන් යානයක් 2025 නව වසරේදී හොංකොං සිට ගුවන් ගතවී 2024 වසරේ ලොස් ඇන්ජලීස් වෙත ගොඩ බස්වා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ගුවන් යානය ලොස් ඇන්ජලීස් වෙත ගොඩ බසින විට එහි නව වසර උදාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 නව වසර ආරම්භ වී හොංකොං සිට ගුවන්ගතවී පැය 14 කට ආසන්න කාලයක ගුවන් ගමනකින් අනතුරුව ගමනාන්තයට ළඟා වූ විට එහි දිනය සටහන්ව ඇත්තේ 2024 දෙසැම්බර් 31 ලෙස බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එම ගුවන් යානය පැසිෆික් සාගරය හරහා ජාත්‍යන්තර දින රේඛාව පසු කරන විට ගුවන් යානය නැවත 2024 දක්වා ගමන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

677551538ef11

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කමිටුවක්

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් කොමිසමට සැලකිය යුතු නෛතික අර්ථ නිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ අනුව දූෂණ විරෝධි පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් ඇතුළත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතු වගන්ති හා ඇතුළත් කළ යුතු නව වගන්ති පිළිබඳව නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773cccf8d296

තිළිණ ගමගේ ඇතුළු මහේස්ත්‍රාත්වරු තිදෙනෙකුට ස්ථාන මාරු

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි පත් කර තිබෙනවා.

ඒ අනුව, හිටපු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.